උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වන කාලවකවානුව ගැන ඉඟියක්

0
72

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අප්‍රේල් මාසයේ දී නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන සූදානම් කර ඇති ආකාරය සම්බන්ධයෙන් කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

ඒ අනුව, උසස් පෙළ සමතුන් වෙත සරසවි ප්‍රවේශය ලබා දීමට දැනට පවතින වසර එක හමාරක කාල පරතරය නිශ්චිත වශයෙන්ම අඩු කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. අප්‍රේල් මාසයේ නිකුත් කිරීමට අපේක්ෂිත උසස් පෙළ ප්‍රතිඵල අනුව සරසවි ප්‍රවේශය ලබන සිසුන් සැප්තැම්බර් මාසයේදී විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට ද සියලු විධිවිධාන යොදන බව ද  අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන ජුනි මාසය වන විට නිකුත් කරන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. එමෙන්ම කවර හේතුවක් නිසාවත් දරුවන්ගේ ඉගෙනුම් කාලය නාස්ති වී යාමට කිසිසේත් ඉඩ නොතබන බවද අවධාරණය කර සිටි අධ්‍යාපන අමාත්‍යවරයා, ප්‍රමාදයකින් තොරව දරුවන්ගේ අධ්‍යාපනය අවසන් කර ගැනීමට හැකි ව්‍යුහයක් සකස් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ  ප්‍රමුඛ කාර්යයක් සේ සලකා කටයුතු කරන බව ද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here