නිපුණතා සමාජයක් බිහිකරන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා – ජනපති

0
69

ශ්‍රම අභිමානය සුරැකෙන, නිපුණතා සමාජයක් බිහිකරන අධ්‍යාපන ක්‍රමයක් ඇතිකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, මීගමුවේ පිහිටි BCI කැම්පස් ආයතනයේ උපාධි ලියාපදිංචිය ආරම්භ කිරීමේ නිල උත්සවයට එක්වෙමිනි. 

21 වන සියවසේ ශ්‍රේෂ්ඨ විද්වතෙකු වූ 16 වැනි බෙනඩික්ට් පාප් වහන්සේට උපහාර පිණිස, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේගේ සංකල්පයකට අනුව 2015 වසරේදී BCI උසස් අධ්‍යාපන ආයතනය ආරම්භ කිරීමට කටයුතු කළේය.

එහි උපාධි පාඨමාලා ලියාපදිංචියේ සමාරම්භක නිල උත්සවය ඊයේ (15) පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

“ඵලදායී පුරවැසියෙක් සහ ප්‍රීතිමත් පවුලක් බිහිකිරීමට අවශ්‍ය ප්‍රධාන අංග මගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් වෙලා තියනවා. එහි අන්තර්ගතකර තිබෙන්නේ දැනුමෙන් පරිපූර්ණ සමාජයක් නිර්මාණය කිරීමේ අධිෂ්ඨානයයි. පාසල් අධ්‍යාපනයේ සියලුම අංග නවීකරණය කරමින් යළි ප්‍රබෝධයක් ඇතිකිරීම ගැන මම අවධාරණය කරන අතරම උසස් අධ්‍යාපනයේ විශිෂ්ටත්වය ළඟාකර ගැනීම සඳහා මම ඉතා ඉහළ ප්‍රමුඛතාවක් දෙන්නෙමි. මේ අංශයේ ඇතැම් ප්‍රධාන අංග වන්නේ සියලුම විශ්වවිද්‍යාල සුහුරු අධ්‍යාපනික විශ්වවිද්‍යාල බවට පරිවර්ථනය කිරීම සහ තාක්ෂණික ශිල්පීන් වැඩි පිරිසක් බිහිකිරීම සඳහා තාක්ෂණ පීඨ ආරම්භ කිරීම, දුරස්ථ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට හැකි වනපරිදි විවෘත විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය සංවර්ධනය සහ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලවන ආකාරයට වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීමයි.”

“මගේ ප්‍රතිපත්ති රාමුවට නිපුණතා පූර්ණ සමාජයක් නිර්මාණය කිරීමට හා පෝෂණය කිරීමට ඉවහල්වන මුලපිරීම් රැසක් ඇතුළත්. විශේෂයෙන් නව සාමාන්‍ය තත්ත්වය තුළ අපේ ආර්ථිකය වර්ධනය කිරීමට නම් ශ්‍රමයේ අභිමානය පිළිබඳ නිවැරදි හැඟීමක් ඇති පුහුණුව සහිත ශ්‍රම බලකායක් අත්‍යවශ්‍ය වනඅතර එමගින් අපට වේගවත් සංවර්ධනයක් අත්කරගත හැකියි,” යනුවෙන් එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here