2020 දී තෙල් සංස්ථාවට රු. බිලියන 33.9ක මෙහෙයුම් ලාභයක්. ඉන්ධන අරමුදලට රු. බිලියන 69.2ක් ඒකතු වෙලා. LIOC ලාභය රු. මිලියන 876 ක්

0
38

ගෝලීය තෙල් මිල සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පැවතිය ද, ප‍්‍රධාන ඛනිජ තෙල් නිෂ්පාදිතවල දේශීය මිල ගණන් නොවෙනස්ව පවත්වා ගෙන යෑම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙහි මූල්‍ය ක‍්‍රියාකාරීත්වය 2020 වසරේ දී වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2020 මහ බැංකු වාර්ෂික වාර්තාව පවසන්නේ විගණනය නොකළ තාවකාලික මූල්‍ය ඇස්තමේන්තුවලට අනුව, ලං.ඛ.නී.සං.හි පසුගිය 2019 වසරේ පැවති රුපියල් බිලියන 19.1ක මෙහෙයුම් අලාභය හා සැසඳීමේ දී 2020 වසරේ දී රුපියල් බිලියන 33.9ක මෙහෙයුම් ලාභයක් වාර්තා වී තිබෙන බවයි.

අසාමාන්‍ය ලෙස ජාත්‍යන්තර වෙළඳපොළේ පහළ ගිය තෙල් මිලෙහි ප‍්‍රතිලාභ ආර්ථිකය පුරා සාධාරණ ලෙස බෙදා හැරීම සහතික කිරීමේ අරමුණින් දේශීය ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම වෙනුවට 2020 මාර්තු මාසයේදී ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලක් පිහිටුවනු ලැබූ අතර 2020 වසර තුළ දී දළ වශයෙන් රුපියල් බිලියන 69.2ක මුදලක් ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලට ඒකතු වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දේ.

මේ අතර ලංකා IOC සමාගම 2020/21 මූල්‍ය වර්ෂය තුළ දී රු. මිලියන 876. 78 ක ශුද්ධ ලාභයක් වාර්තා කළ බව ඒම සමාගමේ නවතම මූල්‍ය ප්‍රකාශන පෙන්වා දේ.

ඛනිජ තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව 2020 වාර්ෂික වාර්තාවෙහි වැඩිදුරටත් මෙසේ කරුණු දක්වා ඇත.

කොවිඞ්-19 වසංගතය හේතුවෙන් 2020 වසරේ මාර්තු මාසයේ දී ගෝලීය බොරතෙල් මිල ගණන් අනපේක්ෂිත ලෙස පහත වැටුණු අතර, වසර අවසානය වන විට මිල ගණන් ශීඝ‍්‍රයෙන් යථා තත්ත්වයට පත් විය. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිලෙහි සාමාන්‍යය පසුගිය වසරේ පැවති එ.ජ. ඩොලර් 64.04ක සිට 2020 වසරේ දී එ.ජ. ඩොලර් 43.35ක් දක්වා සියයට 32.3කින් පහළ ගියේය. කෙසේ වෙතත්, වසර පුරා බොරතෙල් මිල ගණන් සැලකිය යුතු මට්ටමක ඉහළ විචලනයක් පෙන්නුම් කළේය. වසර ආරම්භයේ දී භූ දේශපාලනික ගැටුම් හේතුවෙන් ඉහළ ගිය බොරතෙල් මිල ගණන්, කොවිඞ්-19 වසංගතය පැතිරීමත් සමඟ තියුණු ලෙස පහත වැටුණි. 2000 වසරේ සිට මේ දක්වා වාර්තා වූ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක අඩුම මිල 2020 අපේ‍්‍රල් මැද භාගයේ දී වාර්තා විය. ඉල්ලූම දුර්වල වීම සහ ගබඩා ධාරිතාව ප‍්‍රමාණවත් නොවීම මධ්‍යයේ වුව ද නිෂ්පාදනය අඛණ්ඩව සිදු කිරීම හේතුවෙන්, 2020 අපේ‍්‍රල් මාසයේ දී බැරලයක මිල එ.ජ. ඩොලර් සෘණ 37.63ක අගයක් වාර්තා කරමින් වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියට් (ඩබ්.ටී.අයි.) මිල ගණන් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට සෘණ අගයක් දක්වා පහත වැටිණි. ඉල්ලූම සම්බන්ධයෙන් සැලකීමේ දී, වසංගත තත්ත්වය හේතු කොටගෙන ආර්ථික හා සමාජ කටයුතු සීමා කිරීම් සහ සංචරණ සීමා පැනවීම් මිල ගණන් මත සෘණාත්මක බලපෑමක් ඇති කළ අතර, සැපයුම් සම්බන්ධයෙන් සැලකීමේ දී, මිල ඉහළ නැංවීම සඳහා ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය (ඔපෙක්) විසින් වසර පුරා කිහිප වරක් සැපයුම් කප්පාදු සිදු කරන ලදී. කෙසේ වෙතත්, සුභවාදී ආර්ථික අපේක්ෂා සමඟ 2020 වසරේ නොවැම්බර් මාසයේ සිට ගෝලීය බොරතෙල් මිල ගණන්වල ඉහළ යෑමේ ප‍්‍රවණතාවක් දක්නට ලැබුණි. ඒ අනුව, වසර අවසානය වන විට බොරතෙල් බැරලයක දෛනික මිල එ.ජ.ඩොලර් 51.34ක් දක්වා ඉහළ ගියේය. ගෝලීය බොරතෙල් මිල ප‍්‍රවණතාවන්ට අනුකූලව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (ලං.ඛ.නී.සං.) විසින් ආනයනය කරන ලද බොරතෙල් බැරලයක මිලෙහි සාමාන්‍යය, 2019 වසරේ වාර්තා වූ එ.ජ. ඩොලර් 68.80ට සාපේක්ෂව 2020 වසරේ දී එ.ජ. ඩොලර් 45.57ක් දක්වා පහළ ගියේය. 2021 වසරේ පළමු කාර්තුව තුළ දී ද, බොරතෙල් මිල ගණන් දෛනික වශයෙන් විචලනයක් පෙන්නුම් කළ අතර, කොවිඞ්-19 එන්නත සම්බන්ධයෙන් වූ බෙදාහැරීම්, සැපයුම් හා සෞඛ්‍ය ගැටලූ, කොවිඞ්-19 රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම හා නව වෛරස ප‍්‍රභේද හමුවේ ආර්ථික හා සමාජ කටයුතු සඳහා අලූතින් සීමා පැනවීම්, ආර්ථීකයන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජයයන් විසින් අඛණ්ඩව කටයුතු කිරීම සහ ඔපෙක් සංවිධානයේ සැපයුම් කප්පාදු මෙන්ම, සූවස් ඇළ මාර්ගයේ තාවකාලිකව මතු වූ අවහිරය යනාදී සාධක හේතුවෙන් වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල එ.ජ. ඩොලර් 60-70ත් අතර පරාසයක බොහෝ දුරට රැඳී පැවතුණි. 2021 පළමු කාර්තුවේ පැවති බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල එ.ජ. ඩොලර් 61.22කි.

2019 සැප්තැම්බර් මස සිදු කරන ලද මිල සංශෝධනවලින් අනතුරුව, ප‍්‍රධාන ඛනිජ තෙල් නිෂ්පාදිතවල දේශීය සිල්ලර මිල ගණන්වල කිසිදු සංශෝධනයක් සිදු නොවීය. කෙසේ වුවත්, තාප විදුලිබල උත්පාදනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය (ලං.වි.ම.) වෙත යම් සහනයක් ලබා දීමේ අරමුණින්, 2020 වසර තුළ දී දැවි තෙල් 800 සහ දැවි තෙල් 1,500 ලීටරයක මිල රුපියල් 70.00ක් දක්වා රුපියල් 26.00කින් අඩු කරන ලදී. මෙම සහනය පසුව ස්වාධීන විදුලිබල නිෂ්පාදකයින් වෙත ද ලබා දෙන ලදී. මේ අතර, ලංකා අයි ඕසී පොදු සීමිත සමාගම (LIOC) 2020 මුල් භාගයේ දී දේශීය සිල්ලර මිල තෙවරක් සංශෝධනය කළේය.

අසාමාන්‍ය ලෙස ජාත්‍යන්තර වෙළඳපොළේ පහළ ගිය තෙල් මිලෙහි ප‍්‍රතිලාභ ආර්ථිකය පුරා සාධාරණ ලෙස බෙදා හැරීම සහතික කිරීම සඳහා දේශීය ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම වෙනුවට 2020 මාර්තු මාසයේදී ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල පිහිටුවන ලදී. 2020 මාර්තු මාසයේ දී එම අරමුදල ස්ථාපිත කරන විට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම ඔස්සේ ශ‍්‍රී ලංකා මහ බැංකුව වෙතින් රුපියල් බිලියන 47.5ක අරමුදල් රැස් කර ගන්නා ලදී. 2020 අපේ‍්‍රල් මාසය අවසානයේ සිට පෙට‍්‍රල්, සුපිරි ඞීසල් සහ සුදු ඞීසල් ආනයනය සඳහා ඉන්ධන අධිභාර පැනවූ අතර, අධිභාර හරහා රැස් කරන ලද අරමුදල් ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල වෙත යොමු කරන ලදී. කෙසේ වෙතත්, පෙට‍්‍රල් 92 ආනයනය සඳහා වන අධිභාරය 2020 ජුනි මාසයේ දී ඉවත් කරන ලද අතර, පෙට‍්‍රල් 95, සුදු ඞීසල් සහ සුපිරි ඞීසල් සඳහා වන අධිභාරය පහළ හෙළමින් සංශෝධනය කරන ලදී. පසුව, ඛනිජ තෙල් නිෂ්පාදිත ආනයනය කිරීම සඳහා පැවති සියලූම අධිභාර 2021 පෙබරවාරි සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලදී. ශ‍්‍රී ලංකා මහ බැංකුව වෙතින් ලබාගත් අරමුදල් ද ඇතුළුව, 2020 වසර තුළ දී දළ වශයෙන් රුපියල් බිලියන 69.2ක මුදලක් ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලෙහි එකතු වු අතර, එයින් රුපියල් බිලියන 48.0ක් ලං.වි.ම. වෙතින් ලං.ඛ.නී.සං.ට ලැබිය යුතු හිඟ මුදල් අර්ධ වශයෙන් පියවීම සඳහා යොදාගෙන ඇති අතර, දළ වශයෙන් රුපියල් බිලියන 21.0ක් ශ‍්‍රී ලංකා මහ බැංකුව වෙත නිකුත් කෙරුණු භාණ්ඩාගාර බිල්පත් පියවීම සඳහා යොදා ගැනුණි.

විශේෂයෙන්ම වසරේ දෙවන කාර්තුවේ දී, කොවිඞ්-19 ව්‍යාප්තිය මගින් ඇති කරන ලද අවහිරතා හේතුවෙන් මන්දගාමි වූ ආර්ථික ක‍්‍රියාකාරකම් හා සංචරණ සීමාවල බලපෑම පිළිබිඹු කරමින්, වසර තුළ දී දේශීය වෙළඳපොළ තුළ ඛනිජ තෙල් නිෂ්පාදිත අලෙවිය සියයට 16.8කින් පහළ ගියේය. ඒ අනුව, ලං.ඛ.නී.සං.හි සහ ලංකා අයි ඕසී පොදු සීමිත සමාගමේ විකුණුම් පරිමා, පිළිවෙළින්, සියයට 16.9කින් සහ සියයට 15.7කින් අඩු විය. දේශීය වෙළඳපොළ තුළ ඛනිජ තෙල් නිෂ්පාදිත අලෙවියෙහි සමස්ත පහළ යෑමට සමගාමීව, ලං.ඛ.නී.සං. මගින් ප‍්‍රවාහන අංශය වෙත අලෙවි කළ ප‍්‍රමාණය 2020 වසර තුළ දී සමස්තයක් වශයෙන් සියයට 13.6කින් පහළ ගියේය.

මේ අතර, විදුලිබල උත්පාදන සංයුතිය තුළ තාප විදුලිබල උත්පාදනයේ දායකත්වය පහළ යෑමත් සමඟ, විදුලිබල උත්පාදනය සඳහා වූ ඞීසල් අලෙවිය 2020 වසර තුළ දී සැලකිය යුතු ලෙස සියයට 61.0ක පහළ යෑමක් වාර්තා කළ අතර, තාප විදුලිබල උත්පාදනය සඳහා දැවි තෙල් අලෙවිය සියයට 8.9කින් පමණ ඉහළ ගියේය. තවද, කර්මාන්ත හා ගුවන් සේවා අංශවල කටයුතු කෙරෙහි කොවිඞ්x-19 ව්‍යාප්තිය මගින් ඇති කළ අහිතකර බලපෑම හේතුවෙන් 2020 වසර තුළ දී මෙම අංශ සඳහා සිදු කළ ඛනිජ තෙල් නිෂ්පාදිත අලෙවිය පහළ ගියේය.

2020 වසර තුළ ලං.ඛ.නී.සං.හි පිරිපහදු නිෂ්පාදිතය සමස්තයක් ලෙස සියයට 7.7කින් පහත වැටුණි. සමස්ත බොරතෙල් යෙදවුම් ප‍්‍රමාණය සියයට 9.6කින් පහළ ගිය අතර, ඞීසල් සහ පෙට‍්‍රල් පිරිපහදු නිෂ්පාදනය, පිළිවෙළින්, සියයට 13.9කින් සහ සියයට 11.6කින් පහළ ගියේය. කොවිඞ්-19 ආශ‍්‍රිත සංචරණ සීමා හේතුවෙන් දේශීය වශයෙන් ඉන්ධන සඳහා වන ඉල්ලූම පහළ යෑම පිළිබිඹු කරමින්, ලං.ඛ.නී.සං. විසින් ආනයනය කරනු ලැබූ පිරිපහදු කළ නිෂ්පාදන ධාරිතාවය ද වසර තුළ දී සියයට 22.0කින් පහළ ගියේය.

ගෝලීය තෙල් මිල සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පැවතිය ද, ප‍්‍රධාන ඛනිජ තෙල් නිෂ්පාදිතවල දේශීය මිල ගණන් නොවෙනස්ව පවත්වා ගෙන යෑම හේතුවෙන් ලං.ඛ.නී.සං.හි මූල්‍ය ක‍්‍රියාකාරීත්වය 2020 වසරේ දී වර්ධනය විය. විගණනය නොකළ තාවකාලික මූල්‍ය ඇස්තමේන්තුවලට අනුව, ලං.ඛ.නී.සං.හි පසුගිය වසරේ පැවති රුපියල් බිලියන 19.1ක මෙහෙයුම් අලාභය හා සැසඳීමේ දී 2020 වසරේ දී රුපියල් බිලියන 33.9ක මෙහෙයුම් ලාභයක් වාර්තා විය. ප‍්‍රවාහනය, විදුලිබල උත්පාදනය, ගුවන් සේවා සහ කර්මාන්ත අංශවලට අලෙවි කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදනවලින් 2020 වසරේ දී මෙහෙයුම් ලාභ ඉපැයිණි. කෙසේ වෙතත්, ලං.ඛ.නී.සං. විසින් ලබාගෙන තවම නොපියවා ඇති විදේශීය මුදලින් නාමනය වූ විශාල ණය ප‍්‍රමාණය හේතුවෙන්, 2020 වසරේ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව රුපියල අවප‍්‍රමාණය නිසා ඇති වූ විනිමය අනුපාත විචල්‍යතා අලාභය රුපියල් බිලියන 21.8ක් විය. එමගින් ලං.ඛ.නී.සං.හි සමස්ත ලාභයට (බදුවලට පෙර) සෘණාත්මක බලපෑමක් ඇති කරන ලද අතර, පෙර වසරේ වාර්තා වූ රුපියල් බිලියන 11.8ක අලාභයට සාපේක්ෂව 2020 වසරේ දී, එම අගය රුපියල් බිලියන 2.4ක ලාභයක් ලෙස සටහන් විය. මේ අතර, ලං.ඛ.නී.සං. විසින් බැංකු අංශයෙන් ලබා ගත් ණය ප‍්‍රමාණය 2020 වසරේ දී රුපියල් බිලියන 381.8ක් දක්වා රුපියල් බිලියන 74.1කින් ඉහළ ගිය අතර, දේශීය බලපත‍්‍රලාභී වාණිජ බැංකුවල පැවති ලං.ඛ.නී.සං.ට අයත් තැන්පතු ප‍්‍රමාණය 2019 වසර අවසානයේ දී පැවති රුපියල් බිලියන 30.0ක සිට 2020 වසර අවසානය වන විට රුපියල් බිලියන 63.9ක් දක්වා වර්ධනය විය. වසර තුළ දී ලං.වි.ම. විසින් අර්ධ වශයෙන් සිය ණය වගකීම් ගෙවීම හේතුවෙන් රාජ්‍ය ආයතනවලින් ලං.ඛ.නී.සං.ට අයවිය යුතු හිඟ මුදල 2020 වසරේ දී රුපියල් බිලියන 142.7ක් දක්වා රුපියල් බිලියන 10.5කින් පහළ ගියේය. 2020 වසර අවසානයේ දී, ලං.වි.ම. හා ශ‍්‍රීලංකන් ගුවන් සේවය වෙතින් අය විය යුතු හිඟ මුදල, ලං.ඛ.නී.සං. වෙත අය විය යුතු සමස්ත හිඟ මුදලින් සියයට 89.2කට පමණ දායක විය.

2020 වසර තුළ දී ඛනිජ තෙල් අංශයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති මන්දගාමී ලෙස අඛණ්ඩව ක‍්‍රියාත්මක විණි. ආයෝජන නොමැති වීම හේතුවෙන් පසුගිය දශකය තුළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව පු`ඵල් කිරීමේ සහ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය (SOREM) එතරම් ප‍්‍රගතියක් අත්කර නොගත් අතර,  2020 වසරේ දී ලං.ඛ.නී.සං. මගින් එය නවතා දමන ලදී.

රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ, දිනකට බැරල් 100,000ක ධාරිතාවක් සපයන නව පිරිපහදුවක් සපුගස්කන්දෙහි පිහිටුවීම සඳහා අවශ්‍ය නව ශක්‍යතා අධ්‍යයනයක් ආරම්භ කිරීමට 2020 නොවැම්බර් මාසයේ දී අමාත්‍ය මණ්ඩලය විසින් ලං.ඛ.නී.සං.ට අනුමැතිය ලබා දෙන ලදී. එම ශක්‍යතා අධ්‍යයනය මගින් ආර්ථිකය තුළ වෙනස්වන ඉන්ධන අවශ්‍යතා සහ අදාළ තාක්ෂණ ක‍්‍රමවේදයන්හි මෑත කාලීන දියුණුව ද සලකා බැලීමට නියමිතය. රජය විසින් සිදු කරනු ලබන අක්වෙරළ හයිඩ්‍රොකාබන් ගවේෂණය, සංවර්ධන හා නිෂ්පාදන කටයුතු සඳහා වන නියාමන ආයතනය වන ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය විසින් ශ‍්‍රී ලංකාවේ ස්වභාවික වායු පිළිබඳ ගවේෂණය කිරීම සඳහා ආයෝජකයින්ගේ රුචිය ඇති කිරීමේ උත්සාහයක් ලෙස ස්වභාවික වායු පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය 2020 ඔක්තෝබර් මාසයේ දී ගැසට් පත‍්‍රයක් මගින් ප‍්‍රකාශයට පත් කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here