ශ්‍රී ලංකා – පාකිස්තාන වෙළෙඳ අවස්ථා පුළුල් කිරීමට ඇති හැකියාව සොයාබැලේ

0
37

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර වෙළෙඳ අවස්ථා පුළුල් කිරීමට ඇති හැකියාව පිළිබඳ ව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ පාකිස්තාන අගමැතිවරයා ද්වීපාර්ශ්වික සාකච්ඡාවලදී සොයාබලා තිබේ.  

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර නිල හමුව අද (24) පෙරවරුවෙ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 

ඉහත කරුණු එම සාකච්ඡාවේදී හුවමාරු කරගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන් විසින් පිළිගනු ලැබීය.
 
ජනාධිපතිවරයා සහ පාකිස්ථාන අගමැතිවරයා දීර්ඝ වේලාවක් ද්විපාර්ශ්වික සබඳතා ගැන සාකච්ඡා කළහ. 

කතාබහ බෙහෙවින් ඵලදායී විනැයි පාකිස්ථානු නායකයා පැවසීය.
 
දෙරටේ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික දැනුම හුවමාරුව පිළිබඳවත් රාජ්‍ය නායකයෝ දෙදෙනා අදහස් හුවමාරු කරගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
 
ගොවියාට ඉහළ ආදායමක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන ආකාරයෙන් කෘෂි ආර්ථිකය නගා සිටුවීම සිය ඉලක්කය බව නායකයෝ ප්‍රකාශ කළහ. 

පාකිස්තානයේ කෘෂි ආර්ථිකය බෙහෙවින් ශ්‍රී ලංකාවට සමාන බව ඉම්රාන් ඛාන් මහතා එහිදී පවසා තිබේ. 

කොවිඩ් වසංගතය මර්ධනය සමග මෙරට සංචාරය සඳහා පාකිස්ථාන ජනතාවට ආරාධනා කළ ජනාධිපතිවරයා දෙරටේ සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගැන අදහස් දැක්වීය.
 
තාක්ෂණික දැනුම හුවමාරුව ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි රාජ්‍ය නායකයෝ අවධානය යොමුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here