Colombo Fashion Week වෙතින් One Galle Face සමග එක්වී Retail Week නමින් සුවිශේෂී වැඩසටහනක්

0
29

පරිසරයසුවතාව හා සාහිත්‍යය තේමා කරගත් නවමු අත්දැකීම් පෙළක් රැගෙන එයි

ජන ජීවිතය බෙහෙවින් වෙනස් වී ඇති පසුබිමක නවතම අත්දැකීමක් ජනතාවට තිළිණ කරමින්, Colombo Fashion Week විසින් CFW Retail Week නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. සති තුනක් පුරා පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන, 2020 සැප්තැම්බර් 11 දින සිට 2020 ඔක්තෝබර් 04 දින දක්වා පැවැත්වෙනු ඇති අතර, විලාසිතා හා සුවතා සතිය, පරිසර හා සුරැකුම් සතිය සහ සාහිත්‍ය සතිය වශයෙන් සතිපතා තේමාවන් යටතේ විවිධ ඉසව් පැවැත්වීමට නියමිත ය.  One Galle Face සහ HSBC Sri Lanka සමග එක්ව ක්රියටහ්මක කරන මෙම වැඩසටහන පාරිභෝගිකයන්ට නවතම අත්දැකීමක් රැගෙන එනු නොඅනුමාන ය.

තවද මෙම වැඩසටහන තුළදී විවිධ විෂයන් සම්බන්ධ විශේෂඥයන්ගේ දේශන, පොත් කියවීම් හා වැඩමුළු, අගය එකතු කළ පාරිභෝගික අත්දැකීම් වැඩසටහන්, චිත්‍රපට දර්ශන, ජූනියර් චෙෆ් වැඩසටහනක් සහ දරුවන් වෙනුවෙන් චිත්‍ර ඇඳීමේ වැඩමුළුවක් ආදිය මෙන්ම ‘වයින් ටේස්ටින්’ සහ ආහාරපාන ප්‍රදර්ශන වැනි විශේෂ ඉසව්ද පැවැත්වෙනු ඇත.

“අපට දකින ආකාරයට, වර්තමාන සාප්පු සංකීර්ණ වල අභ්‍යන්තර පරිසරය සුවිශේෂයි. මේ සුවිශේෂීත්වය දෙගුණ තෙගුණ කරන්නට, නිර්මාණශීලී පුද්ගලයන් සම්බන්ධ කරගනිමින්, පාරිභෝගිකයන්ට හුදෙක් මූල්‍යමය සීමාවෙන් එහා ගිය අත්දැකීමක් තිළිණ කිරීමට අපට අවශ්‍ය වුණා. One Galle Face යනු කොළඹ නගරයේ පිහිටි සුවිශේෂීම සාප්පු සංකීර්ණයක්. අප සමග එක්වී අලුත් දෙයක් අත්හදා බලන්නට ඔවුන් කැමැත්ත පළකළ නිසා, මේ නව සංකල්පය එහිදී ක්‍රියාවට නංවන්නට අප තීරණය කළා. මේ පර්යේෂණාත්මක සංකල්පයේ පදනම වන්නේ දැනුම, විනෝදය සහ අන්තර්සම්බන්ධතා යන අංශ තුනයි. විලාසිතා ක්ෂේත්‍රය වැනි නිර්මාණශීලී ක්ෂේත්‍රයකින් පැමිණි මට පෙනෙන ආකාරයට, අප හමුවේ ඇති තාර්කික ඉදිරි පියවර වන්නේ පාරිභෝගික සම්බන්ධතා වලට අදාළව නව අත්හදා බැලීම් සිදුකිරීමයි. ඒ සඳහා මෙසේ One Galle Face සමග අත්වැල් බැඳගැනීමට ලැබීම සතුටට කරුණක්. ඒ වගේම දිගු කාලයක පටන් අපත් සමග මේ කටයුතු වලට දායක වන HSBC නැවත වරක් මේ Retail Week වැඩසටහනටද දායක වීම ගැන මා බෙහෙවින් සතුටු වනවා. ඔවුන් මේ වැඩසටහන තුළදී නව සේවාවන් හඳුන්වා දීමටත් කටයුතු කරාවි.” CFW Holdings සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අජේ වීර් සිං මහතා පැවසී ය.

One Galle Face හි දායකත්වය සමගින් එම පරිශ්‍රය තුළදී මෙම නව සංකල්පය අත්හදා බැලෙනු ඇත. One Galle Face යනු මෙරට ජාත්‍යන්තර මට්ටමින් ඉදිකර කළමනාකරණය කරනු ලබන ප්‍රථම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියයි. වර්ග අඩි 480,000 ක්, එනම් පාපන්දු ක්‍රීඩාංගණ 8 කට සමාන විශාලත්වයකින් යුත් මෙය, ශ්‍රී ලංකාවේ විශාලතම සාප්පු සංකීර්ණයද වේ. අලෙවිසැල් 200 කට අධික සංඛ්‍යාවකින් සමන්විත One Galle Face තුළදී පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදීගැනීමට අමතරව ආහාරපාන, විනෝදාස්වාද, රූපලාවණ්‍ය හා තාක්ෂණ ඇතුළු තවත් බොහෝ අංශ වලට අදාළ සේවාවන් අත්විඳිය හැක.

CFW Retail Week වැඩසටහනේ විශේෂ සාප්පු සවාරි අත්දැකීමට අදාළ ප්‍රමුඛතම ගෙවීම් ක්‍රමය වන්නේ HSBC ප්‍රිමියර් කාඩ්පත් ය. “ශ්‍රී ලංකාවේ ජනප්‍රියම විලාසිතා වැඩසටහන වන Colombo Fashion Week වැඩසටහනේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස වසර 13 ක් තිස්සේ කටයුතු කරන අප මෙම නවතම CFW Retail Week වැඩසටහනටත් අනුග්‍රහය දක්වන්නේ ඉතාමත් සතුටින්. අපගේ ‘ප්‍රිමියර්’ ගනුදෙනුකරුවන් ජාත්‍යන්තර චින්තනයක් සහ ජීවන රටාවක් සහිත පිරිසක් නිසා, අපගේ HSBC Premier වැඩසටහන සැබැවින්ම පවුලේ වැඩසටහනක් බවට පත්කරමින්, ඔවුන්ට ජාත්‍යන්තර තලයේ අත්දැකීමක් ශ්‍රී ලංකාව තුළදීම අත්විඳීමට අවස්ථාව ලබාදීමට අප කල්පනා කළා. මේ අරමුණ, සැප්තැම්බර් 10 සිට ඔක්තෝබර් 04 දක්වා පැවැත්වෙන CFW Retail Week වැඩසටහනේ අරමුණු සමග මැනැවින් ගැළපෙන බව අපට පෙනුණා. ඒ නිසා, තම පවුලේ සියලු දෙනා සමග පැමිණ, CFW Fashion Week වැඩසටහනේ විවිධ ඉසව් අත්දකින මෙන් මා අපගේ ගනුදෙනු කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. විලාසිතා, පරිසරය හා සාහිත්‍ය සම්බන්ධ විශේෂ ඉසව් රාශියක් මීට ඇතුළත්ව තිබෙනවා වගේම, මෙමගින් දේශීය නිර්මාණ ශිල්පීන්ට අත්වැලක් හිමිවීමත් විශේෂයි.” HSBC Sri Lanka හි අලෙවි හා සන්නිවේදන ප්‍රධානී තරංග ගුණසේකර මහතා පැවසී ය.

සතිපතා තේමාවන් ඔස්සේ සංවිධානය කරනු ලබන සංවාද හා වෙනත් වැඩසටහන් සමග පාරිභෝගිකයන් සම්බන්ධ කරගනිමින්, ඔවුන්ට දැනුම ලබාදෙමින්, ඔවුන්ට අලුත්ම අත්දැකීමක් තිළිණ කිරීමට CFW Retail Week වැඩසටහන සමත් වනු ඇත. වර්තමානයේ පවතින තත්ත්වය දෙස බලන කල, පරිසරය කෙරෙහි අප සංවේදී වීම අතිශයින් වැදගත් වන බැවින්, ඒ සම්බන්ධයෙන් වැඩමුළු හා සංවාද ඔස්සේ නව කතිකාවක් ගොඩනැංවීමට නියමිත ය. පරිසර හා සුරැකුම් සතිය ලෙස ලෙස නම්කර ඇති මෙම සතිය තුළ, ප්ලාස්ටික් වල බලපෑම සම්බන්ධයෙන් BPL Holdings සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අනුෂ් අමරසිංහ මහතා විසින්ද, සාගර සංරක්ෂණය පිළිබඳව Oceanswell සංවිධානයේ නිර්මාතෘ හා විධායක අධ්‍යක්ෂිකා ආචාර්ය ආශා ඩි වොස් මහත්මිය විසින්ද, ශ්‍රී ලංකාවේ භූ දර්ශන මට්ටමින් සංරක්ෂණය සඳහා මූල ජීවී විශේෂයක් ලෙස දිවියන් පිළිබඳව අවධානය යොමුකිරීම සම්බන්ධයෙන් Wilderness & Wildlife Conservation Trust (WWCT) හි සම-නිර්මාතෘ-භාරකරුවන් වන අංජලී වොට්සන් සහ ආචාර්ය ඇන්ඩෘ කිට්ල් විසින්ද, ඉන්දියානු සාගරයේ මෝරුන් සහ මඩුවන් මුහුණ දී ඇති තර්ජන සම්බන්ධයෙන් Blue Resources Trust හි සම-නිර්මාතෘ ඩැනියෙල් ප්‍රනාන්දු විසින්ද දේශන පවත්වනු ඇත.

මීට අමතරව, One Galle Face හි දෙවැනි මහලේ The Edit නමින් විශේෂ අලෙවිසැලක්ද විවෘත වනු ඇති අතර, Colombo Fashion Week වැඩසටහනට සම්බන්ධ වූ සියලුම නිර්මාණ ශිල්පීන් අගෝස්තු මාසයේදී ප්‍රදර්ශනය කළ විලාසිතා එහිදී මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ. මෙය එම නිර්මාණ ශිල්පීන්ට වඩාත් පුළුල් පිරිසක් සමග සම්බන්ධ වෙමින් තම නිර්මාණ අලෙවි කරගැනීමට, සීමිත කාලයක් සඳහා ලැබෙන සුවිශේෂී අවස්ථාවකි.

විලාසිතා හා සුවතා සතිය තුළ, විලාසිතාමය හැඩවැඩවීම් සම්බන්ධයෙන්, පිරිමි ඇඟලුම් ක්ෂේත්‍රයේ අතිශයින් ජනප්‍රිය ෆවුසුල් හමීඩ් මහතා විසින්ද, සමකාලීන විලාසිතා නිර්මාණ කලාව තුළ බතික් සතු භූමිකාව සම්බන්ධයෙන් බුද්ධි බතික් හි නිර්මාණ අධ්‍යක්ෂිකා දර්ශි කීර්තිසේන මහත්මිය විසින්ද, වෘත්තීය ආචාරධර්ම සම්බන්ධයෙන් සුප්‍රකට ආයතනික පුහුණුකරු කුමාර් ද සිල්වා මහතා විසින්ද, වගකීම්සහගත විලාසිතා සහ චක්‍රීයතාව කරා යන ගමන් මග පිළිබඳව Colombo Fashion Week හි කළමනාකාර අධ්‍යක්ෂ අජේ වීර් සිං මහතා විසින්ද දේශන පවත්වනු ඇත.

මීට මතරව සාහිත්‍ය සතියක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ප්‍රකට ශ්‍රී ලාංකික ගත් කතුවරුන් වන අශෝක් ෆෙරී, ෂෙහාන් කරුණාතිලක සහ ආර්තිකා අවුරෝරා බක්ෂි යන මහත්ම මහත්මීන් මේ සඳහා එක්වීමට නියමිත ය. මේ සියලුම කතුවර කතුවරියන් තම ප්‍රියතම නිර්මාණයෙන් කොටසක් බැගින් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කියවනු ඇති අතර, අශෝක් ෆෙරී මහතා ළඟදීම ප්‍රකාශයට පත්වීමට නියමිත ඔහුගේ නවතම නවකථාව වන ‘An Unmarriageable Man’ හි කොටසක් ප්‍රේක්ෂකයන් හමුවේ තබනු ඇත.

CFW Retail Week වැඩසටහන සම්බන්ධ වැඩිදුර විස්තර සඳහා www.colombofashionweek.com වෙබ් අඩවියට පිවිසෙන්න. නවතම තොරතුරු, ඡායාරූප සහ වීඩියෝ ආදිය සඳහා Instagram (@colombofashionweek) සහ Facebook (@colombofashionweek) තුළින් දැකබලාගත හැකි වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here