කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුම් පිට පිටම 10 වන වසර සඳහාත් ‘AAA’ ණය වර්ගීකරණය ලබාගනිමින් පෙරමුණේ

0
142

CRISL සමාගම පිරිනමන ඉහළම ණය වර්ගීකරණය ලබාගැනීමට සමත් වෙයි

කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුම් 2020 වසරේදී තවත් සංධිස්ථානයකට පැමිණෙමින් පිට පිටම 10 වන වසර සඳහාත් ක්‍රෙඩිට් රේටින්ග් ඉන්ෆොමේෂන් ඇන්ඞ් සර්විසස් ලිමිටඞ් (CRISL) වෙතින් ‘AAA’ (Triple A) දිගුකාලීන ණය වර්ගීකරණයක් ලබාගැනීමට සමත් වී ඇත.

මීට අමතරව, බංග්ලාදේශයේ ප‍්‍රමුඛතම රේටින්ග්ස් ආයතනය වන CRISL වෙතින් කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුම් ‘ST-1 ස්ථාවර ඉදිරි දැක්මක්’ යන කෙටි කාලීන ණය වර්ගීකරණය ලබාගෙන ඇත.

CRISL විසින් බංග්ලාදේශයේ ක‍්‍රියාත්මක මූල්‍ය ආයතනයක් වෙත ලබාදෙන ඉහළම දිගුකාලීන සහ කෙටිකාලීන ණය වර්ගීකරණයන් CRISL සහ ST-1 වේ. මෙම ආයතනය විසින් කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ ශාඛාවට ලබාදුන් නවතම ණය වර්ගීකරණය 2021 ජුනි මාසය දක්වා වලංගුවේ.

‘විශේෂයෙන්ම දේශීය සහ ගෝලීය ආර්ථිකයේ උච්චාවචනයක් පවතින කාල සීමාවක් තුළ වසර 10 ක් පුරා අඛණ්ඩව ඉහළම ණය වර්ගීකරණයක් ලබාගැනීම ස්ථාවරත්වයේ නව සංකල්පයක් ලෙස පෙන්වා දිය හැකියි,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන විධායක නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා සඳහන් කළේය. ‘කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුමේ පළමු නේවාසික කළමනාකරු ලෙස මෙම ජයග‍්‍රහණය පිළිබඳව මා සතුටුවන අතර බංග්ලාදේශය තුළ කොමර්ෂල් බැංකුව ඔසවා තැබීමට කැපවූ අපගේ කණ්ඩායමට මා සුබ පතනවා.’

ප‍්‍රමාණාත්මක සහ ගුණාත්මක සාධක යොදාගනිමින් බැංකුවේ මෙහෙයුම් සහ මූල්‍ය කාර්යසාධනය පිළිබඳව සිදුකළ ගැඹුරු අධ්‍යනයක ප‍්‍රතිඵලයක් ලෙස CRISL විසින් කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුමට මෙම වර්ගීකරණය ලබාදීම කැපී පෙනේ. මෙම ඇගයීමට පදනම් කරගෙන තිබෙන්නේ 2019 දෙසැම්බර් 31 වනදායින් අවසන් වනවිට බැංකුවේ මූල්‍ය ප‍්‍රතිඵල සහ අනිකුත් සාධක බව බැංකුව සඳහන් කරයි.

කොමර්ෂල් බැංකුව පළමු වරට බැංකු විදේශීය මෙහෙයුම් කටයුත්තක් මිලදී ගනිමින් 2003 වසරේ ජූලි මාසයේදී Credit Agricole Indosuez (CAI) බංග්ලාදේශ මෙහෙයුම් අත්පත් කරගනිමින් බංග්ලාදේශයට අවතීර්ණ විය. එ් වනවිට මෙම ප‍්‍රංශ බහුජාතික බැංකුව බංග්ලාදේශය තුළ බැංකු ශාඛා දෙකක් සහ බැංකු සැල් දෙකක් ක‍්‍රියාත්මක කළ අතර මෙහෙයුම් කටයුතුවල ශේෂ පත‍්‍රය බංග්ලාදේශ ටකා මිලියන 6,138 ක් (රුපියල් මිලියන 13,425 ක්) සහ බදු වලට පසු ලාභය බංග්ලාදේශ ටකා මිලියන 212 ක් (රුපියල් මිලියන 470 ක්) විය.

පසුගිය වසර 16 ක කාලය තුළදී කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුම් කටයුතු එරට ක‍්‍රියාත්මක අනිකුත් කළාපීය බැංකු වලට වඩා ඉදිරියට පැමිණ තිබෙන අතර කොමර්ෂල් බැංකුවට මේ වනවිට බංග්ලාදේශය තුළ ශාඛා 11 ක්, සුළු හා මධ්‍යම පරිමාණ මධ්‍යස්ථාන හයක් සහ අක්වෙරළ බැංකු ඒකක දෙකක් තිබේ. 2019 දෙසැම්බර් 31 වනදා වනවිට මෙම මෙහෙයුම් කටයුතුවල ශේෂ පත‍්‍රය බංග්ලාදේශ ටකා මිලියන 74,069 ක් (රුපියල් මිලියන 162,004 ක්) සහ බදු වලට පසු ලාභය බංග්ලාදේශ ටකා මිලියන 1,679 ක් (රුපියල් මිලියන 3,712 ක්) වී ඇත.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 875 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ මෙහෙයුම් කටයුතු වලට අමතරව මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කළ මෙරට පළමු බැංකුවද වේ.

සේයාරු සටහන – කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුමෙහි ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වයේ නියෝජිතයන් AAA ශ්‍රේණිගත කිරීමේ සහතිකය සමඟ (වමේ සිට) මූල්‍ය පාලක බිනෝයි ගෝපාල් රෝයි මහතා, ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී දිලීප් දාස් ගුප්තා මහතා, ප‍්‍රධාන විධායක නිළධාරී වරුණ කොලමුන්න මහතා සහ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී කපිල ලියනගේ මහතා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here