කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග‍්‍රිකල්චර් තවත් කෘෂි ලීසිං ප‍්‍රවර්ධනයක් ගෙනෙමින් ගොවීන්ට සහයෝගය දක්වයි

0
10

කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග‍්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් ප‍්‍රයිවට් ලිමිටඞ් ඒකාබද්ධව සිදුකරන ලීසිං ප‍්‍රවර්ධන වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන යටතේ ගොවීන්ට මෙම කන්නයේදී මිල අඩු වාරික සහ විශේෂ වට්ටම් වලට ඉතාමත් නම්‍යශීලීව නව කෘෂි කාර්මික උපකරණ මිලදී ගැනීම සඳහා තවත් අවස්ථාවක් උදාකර දී තිබේ.

මෙරට කෘෂි කර්මාන්තයට සහයෝගය දැක්වීම සඳහා නිර්මාණය කර තිබෙන මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ හේලීස් ඇග‍්‍රිකල්චර් සමාගම සතුව තිබෙන Kubota, Agrotech සහ Farmtrac කෘෂි කාර්මික යන්ත‍්‍ර සූත‍්‍ර ගොවීන්ට මිලදීගැනීමට අවස්ථාව හිමිවේ. මෙම ලීසිං ප‍්‍රවර්ධන වැඩසටහන 2021 මාර්තු අවසන් වනතුරු පවතින අතර ආකර්ශනීය වට්ටම්, විශේෂ වාරික සහ තවත් ප‍්‍රතිලාභ ලබාදීමට අමතරව පහසු සහ නම්‍යශීලී ලීසිං පැකේජ මේ යටතේ ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.

මෙහිදී, පාරිභෝගිකයින් සඳහා ලබාදෙන ප‍්‍රතිලාභ උපරිම කිරීමේ අරමුණෙන් විශේෂයෙන්ම මෙරට කෘෂි කාර්මික ප‍්‍රදේශවල වෙසෙන පාරිභෝගිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් හේලීස් ඇග‍්‍රිකල්චර් සමාගම විසින් සංවිධානය කර තිබේ. මෙම වැඩසටහන් වලට උනන්දුවක් දක්වන පාර්ශවයන් කොමර්ෂල් බැංකුවේ කෘෂි කාර්මික සහ ක්ෂුද්‍ර මූල්‍යන නිළධාරීන් සමග සම්බන්ධ කරන අතර හේලීස් ඇග‍්‍රිකල්චර් සමාගමේ අලෙවි කණ්ඩායම විසින් මෙම ගොවීන්ට තීරණ ගැනීමට අවශ්‍ය කරුණු ලබාදෙනු ඇත.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන මගින් ඉලක්ක කරන්නේ මෙරට කෘෂි කාර්මික ක්ෂේත‍්‍රයට ඉහළම ගුණාත්මක තත්ත්වයෙන් යුතු යන්ත‍්‍ර සූත‍්‍ර ලබාගැනීමට අවස්ථාව දෙමින් අඩු වාරික අනුපාතයකින් ඵලදායීතාවය වර්ධනය කිරීමට සහාය දැක්වීමටයි. මේ ආකාරයේ ඒකාබද්ධ ප‍්‍රවර්ධන වැඩසටහන් පසුගිය වසර කිහිපය තුළම අඛණ්ඩව ක‍්‍රියාත්මක කළ අතර ඒ තුළින් කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග‍්‍රිකල්චර් සමාගම විසින් මෙරට කෘෂි කර්මාන්තයට දක්වන සහයෝගය විදහා දැක්වීය.

කෘෂි කාර්මික ක්ෂේත‍්‍රය තුළ කළාපයේ ප‍්‍රමුඛතම සමාගමක් ලෙසින් සැලකෙන හේලීස් ඇග‍්‍රිකල්චර් තිරසාර සහ නවෝත්පාදක කෘෂි කාර්මික විසඳුම් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කීර්තියක් දිනා තිබේ. මෙම විසඳුම් සමස්ත කෘෂි අගය දාමය ඉලක්ක කර තිබෙන අතර ජල ජීවී වගාව, අධි තාක්ෂණික ගෙවතු වගාව සහ ජීව තාක්ෂණික අයදුම් සඳහා ද සහයෝගය ලබාදෙයි. සමාගම විසින් ලෝකයේ ප‍්‍රමුඛතම බහු ජාතික සමාගම් වෙත සිදුකරන අගය එකතුකළ කෘෂි කාර්මික අපනයන මගින් ශ‍්‍රී ලංකාව විසින් සිදුකරන සැකසූ පළතුරු සහ එළවලූ අපනයන සඳහා සැලකිය යුතු දායකත්වයක් සිදුකර තිබේ. හේලීස් ඇග‍්‍රිකල්චර් සමාගම විසින් බංග්ලාදේශය, මාලදිවයින, මියන්මාරය යන රටවල සාර්ථක විදේශීය මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන අතර ආසියානු සහ අප‍්‍රිකානු කළාපය තුළ සිය ජාලය ව්‍යාප්ත කිරීමට ඉලක්ක කර තිබේ.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 875 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

සේයාරු සටහන – කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී සනත් මනතුංග මහතා (මැද) සහ හේලීස් ඇග‍්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් ලිමිටඞ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ජයන්ති ධර්මසේන මහත්මිය ගිවිසුම හුවමාරු කරගනී. මෙම අවස්ථාවට (වමේ සිට) හේලීස් ඇග‍්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් ලිමිටඞ් හි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සුමිත් කේ හේරත් මහතා, අධ්‍යක්ෂ, එම්. ඒ. රජාබ් මහතා, අධ්‍යක්ෂ, ලූෂාන් අබේසේකර මහතා, කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකු කටයුතු සැන්ඩ‍්‍රා වල්ගම මහත්මිය, රිටේල් ප්‍රොඩක්ට්ස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු, දුෂ්මන්ත ජයසූරිය මහතා සහ රිටේල් ප්‍රොඩක්ට්ස් දෙපාර්තමේන්තුවේ කළමනාකරු, චන්දන අබේසුන්දර මහතා සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here