ශ්‍රී ලංකා මහ බැංකුව ‘මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2020 සුවිශේෂ සිදුවීම් සහ 2021 අපේක්ෂා’ ප්‍රකාශනය නිකුත් කරයි

0
215

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2020 සුවිශේෂ සිදුවීම් සහ 2021 අපේක්ෂා” ප්‍රකාශනය එළිදක්වන ලදී. මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා භාෂා ත්‍රිත්වයෙන් ම බාගත කර ගැනීමට හැකියාව ඇත.*

ආර්ථික ප්‍රවණතා යාවත්කාලීන කිරීමට අමතරව, 2020 ඔක්තෝබර් මස මැද දක්වා ඇති තොරතුරු සැලකිල්ලට ගනිමින්, 2020 අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද මැදි කාලීන සාර්ව ආර්ථික රාමුවෙහි යාවත්කාලීන කිරීමක් ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා” තුළින් මෙවර ඉදිරිපත් කර ඇත. මෙම වසරේ වාර්තාව ප්‍රකාශයට පත්වනුයේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විවිධාකාර සමාජ ආර්ථික අභියෝග සහ අවිනිශ්චිතතාවලට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින තීරණාත්මක සංධිස්ථානයක දී ය.

මෙම ප්‍රකාශනයට අනුව, මෑත වසරවල දී විභවතාවයට වඩා අඩු වර්ධනයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා ආර්ථිකය, කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය මධ්‍යයේ නවමු අභියෝග රැසකට මුහුණ දුන්නේය. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තුවලට අනුව, රට තුළ කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වීම සහ සමාජ හා ආර්ථික කටයුතු සීමා කිරීම, ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීම සහ රට තුළ පැවති අහිතකර කාලගුණික තත්ත්වයන්හි සමස්ත බලපෑම පිළිබිඹු කරමින්, ආර්ථීකය, පෙර වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2020 වසරේ පළමු කාර්තුව තුළ දී සියයට 1.6කින් සංකෝචනය විය. වසංගතයේ ව්‍යාප්තියත් සමඟ ආර්ථිකයට ඇති වූ අවහිරතාවන්ගේ සත්‍ය ස්වභාවය සහ මෙම වසර තුළ දී අලුතින් එකතු වූ ක්‍රියාකාරකම් මෙන් ම, වැඩි කිරීමේ නව ක්‍රමවේද ග්‍රහණය කර ගැනීමේ ඇති අපහසුතාවය පිළිබඳ සඳහන් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දෙවන කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු නිකුත් කිරීම පමා කර ඇත. කෙසේ වෙතත්, 2020 වසරේ ඔක්තෝබර් මාසයේ දී රට තුළ කොවිඩ්-19 ව්‍යාප්තිය නැවත ඉහළ යෑම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ගනු ලැබූ මැඩලීමේ ක්‍රියාමාර්ගවලට පෙරාතුව නිකුත් වී ඇති දත්තවලට අනුව ආර්ථිකයේ අංශ රාශියක ක්‍රියාකාරකම් වේගවත්ව යථා තත්ත්වයට පත්වීමේ ස්වභාවයක් පෙන්නුම් කළේය.

රජයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සාමූහික ප්‍රයත්න තුළින් ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්වීම සඳහා පහසුකම් සැලසුණි. වසංගතයේ බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත උපකාර කිරීම සඳහා සහන සැලසීමේ ක්‍රියාමාර්ග සහ විශාල පරිමාණයේ ප්‍රතිපත්ති  සානුබල හඳුන්වා දෙනු ලැබීය. වසංගතය මගින් ඇති කරන ලද පෙර නොවූ විරෑ අයහපත් වාතාවරණය යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිහිප වතාවක් ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීම සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීම ඇතුළු මුදල් ප්‍රතිපත්ති ලිහිල්කරණ ක්‍රියාමාර්ග ගණනාවක් ක්‍රියාවට නංවනු ලැබීය. එම ක්‍රියාමාර්ග තුළින් වෙළඳපොළට ඉහළ ද්‍රවශීලතාවයක් සැපයුණු අතර, ණය ගැනීම් සඳහා වන පිරිවැය සැලකිය යුතු ලෙස පහළ වැටුණි. කොවිඩ්-19 වසංගතය මගින් ඇති කළ අහිතකර බලපෑම්, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සහනදායී ණය යෝජනා ක්‍රම මෙන් ම, වසංගතය මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට ලබා දුන් ණය ආපසු ගෙවීම සඳහා සහන කාලයක් හඳුන්වාදීමට ද හේතු විය. මෙම ක්‍රියාමාර්ග සඳහා ප්‍රතිචාර දක්වමින්, පෙර මාසවලදී දක්නට ලැබූ මන්දගාමී ප්‍රවණතාව වෙනස් කරමින්, 2020 වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී පෞද්ගලික අංශයට ලබා දුන් ණය සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. ප්‍රාථමික වෙන්දේසිය තුළ දී භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම හරහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට අවශ්‍ය අරමුදල් සපයන ලදී. 2020 වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වන මාස නවයක කාලපරිච්ඡේදය තුළ දී පුළුල් මුදල් සැපයුමේ වර්ධනයෙහි ඉහළ යෑම කෙරෙහි රාජ්‍ය අංශය සඳහා ලබා දුන් ණය ඉහළ යෑම ප්‍රධාන වශයෙන් දායක විය. තව ද, ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම සඳහා සහාය දක්වමින්, දේශීය හා ගෝලීය ආර්ථික කටයුතු මන්දගාමී වීම තුළින් පැන නැගුණු අහිතකර බලපෑම්වලට මූල්‍ය පද්ධතිය ශක්තිමත්ව මුහුණ දුන්නේය.

මේ අතර, වසංගතයේ මුල් අදියරවල දී දැඩි ලෙස බලපෑමට ලක්වූ විදේශීය අංශය, වෙළඳ ශේෂයෙහි වැඩිදියුණු වීම, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් යථා තත්ත්වයට පත් වීම, විනිමය අනුපාතිකය ස්ථාවර වීම සහ විදේශ නිල සංචිත ප්‍රමාණවත් මට්ටමක පැවතීම සමඟ සැලකිය යුතු ලෙස නැවත යථා තත්ත්වයට පත්විය. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන හා සමහර විදේශ විනිමය ගෙවීම් සඳහා පනවන ලද සීමා කිරීම් මෙන් ම, ලෝක වෙළඳපොළේ තෙල් මිල ගණන් අඩු මට්ටමක පැවතීම, විදේශීය අංශයේ ස්ථායීතාව කෙරෙහි සාධනීය ලෙස බලපෑවේය. රජය හා මහ බැංකුව විසින් ගනු ලැබූ පූර්වෝපායික ක්‍රියාමාර්ග සහ 2020 ජූනි මාසයේ සිට විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල ලැබීම් අපේක්ෂිත මට්ටම ඉක්මවමින් යථා තත්ත්වයට පත්වීම, ගෝලීය වශයෙන් දිගින් දිගට ම පනවා ඇති සංචාරක සීමා ‌හේතුවෙන් සංචාරක ඉපැයීම්වල සිදු වූ සැලකිය යුතු පහළ යෑමෙහි බලපෑම කිසියම් දුරකට සමනය කිරීමට උපකාරි විය. ‌ගෝලීය මූල්‍ය ප්‍රවාහ කෙරෙහි වසංගතය මගින් ඇති වූ බලපෑම් හේතුවෙන්, ගෙවුම් තුලනයෙහි මූල්‍ය ගිණුම අඩු ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේය. කෙසේ වෙතත්, දේශීය විදේශ විනිමය වෙළඳපොළෙන් ශුද්ධ විදේශ විනිමය මිල දී ගැනීම ද ඇතුළුව, රජය සහ මහ බැංකුව වෙත ලැබුණු විදේශ විනිමය ලැබීම්වල ප්‍රතිඵලයක් ලෙස දළ නිල සංචිත ප්‍රමාණවත් මට්ටමක පැවතුණි.

අහිතකර සමපේක්ෂණ තත්ත්වයන් සහ ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම් පහළ දැමීම මධ්‍යයේ වුව ද, 2020 වසරේ ඔක්තෝබර් මුල් කාලයේ දී කල් පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය පියවීම ද ඇතුළුව සියලු ණය සේවාකරණ වගකීම් සපුරාලීමට රජයට හැකි විය. මේ අතර, ආර්ථික කටයුතු මන්දගාමී වීම මධ්‍යයේ රජයේ ආදායම් පහළ යෑම හේතුවෙන්, රාජ්‍ය ආදායම සැලකිය යුතු ලෙස අඩු වූ අතර, පසුගිය වසරේ දී නොපියවූ බිල්පත් විශාල ප්‍රමාණයක් ඉදිරියට ගෙන ඒම හේතුවෙන් රජයේ වියදම් කළමනාකරණ ප්‍රයත්න වෙත අහිතකර බලපෑමක් ඇති විය. මැදිකාලීනව අයවැය හිඟය අඩු කිරීම සඳහා වන රජයේ සැලසුම්, ඉදිරි කාලයේ දී සාර්ව ආර්ථික ස්ථායීතාවයෙහි සහ රාජ්‍ය ණයෙහි තිරසාරත්වය තහවුරු කිරීමෙහි ලා ඉතා තීරණාත්මක වේ.

මේ අතර, ආහාර මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් උද්ධමනයෙහි තාවකාලික ඉහළ යෑමක් දක්නට ලැබුණ ද, 2020 වසරේ මේ  දක්වා කාලය තුළ දී උද්ධමනය සියයට 4-6 අතර ඉලක්කගත පරාසයක් තුළ බොහෝ දුරට පවත්වා ගැනීම සඳහා මන්දගාමී ඉල්ලුම් තත්ත්ව සහ මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා උපකාරි විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව තුළ, සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමත් සමඟ මැදිකාලීනව උද්ධමනය මෙම පරාසය තුළ පවත්වා ගැනීමට අපේක්ෂිතය. මේ අතර, රජයේ වර්ධනාභිමුඛ ප්‍රතිපත්තිවල සහාය ඇතිව, ආර්ථිකය වර්ධනය 2021 වසරේ දී නැවත ඉහළ යනු ඇතැයි ද , මැදිකාලීනව ඉහළ ආර්ථික වර්ධන ප්‍රවණතාවක් පවත්වා ගනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා වන ප්‍රතිපත්ති තුළින් ආර්ථිකයේ විදේශීය අංශය මත වන පීඩනය තිරසාර පදනමකින් ලිහිල් වනු ඇතැයි අපේක්ෂිතය. කෙසේ වෙතත්, ඉදිරි කාලය තුළ දේශීය ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේ සහ නැවත නැඟී සිටීමේ ප්‍රමාණය සහ එහි වේගය තීරණය කිරීමෙහිලා දේශීය හා ගෝලීය වශයෙන් කොවිඩ්-19 වසංගතය මැඩලීමේ සාර්ථකත්වය ඉතා තීරණාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here