කිරි ගොවිපොළවල් ඇති කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කෙරේ

0
150

නව කිරි ගොවිපොළවල් ඇති කිරීමේ ව්‍යාපෘතියට අදාළව ආයෝජන මණ්ඩලය විසින් තෝරාගත් ආයෝජකයින් සඳහා අවශ්‍ය ඉඩම් ලබාදීම කඩිනම් කරන ලෙස ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

මෙරට කිරි අවශ්‍යතාවය දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා නව කිරි ගොවිපොළවල් ඇති කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

ඒ අනුව,  ආයෝජන මණ්ඩලය විසින් තෝරාගත් ආයෝජකයින් සඳහා අවශ්‍ය ඉඩම් ලබාදීමේ කටයුතු අදාළ අමාත්‍යාංශ සමඟ සාකච්ඡාකර කඩිනමින් ලබාදෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කරඇත. 

කිරි ගොවිපළ සඳහා ඉඩම් ලබාදීම ආයෝජන මණ්ඩලය හා මහවැලි අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකරන ලෙසත් ලබන වසරේ පළමු මාස තුන වනවිට නව කිරි ගොවිපොළවල් ඇති කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කළයුතු බවත් බැසිල් රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දී තිබේ.

දේශීය කිරි නිෂ්පාදන අවශ්‍යතාවයෙන් 85%කට වැඩි ප්‍රමාණයක් කුඩා පරිමාණ සහ මධ්‍යම පරිමාණයේ දේශීය කිරි ගොවිපොළ මඟින් නිපදවන අතර ඔවුන්ට අමතරව නව මහා පරිමාණ කිරි නිෂ්පාදකයින් බිහි කිරීම මෙහි අරමුණ වේ.

එමෙන්ම ඒ මගින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු පැටවුන් සුළු හා මධ්‍ය පරිමාණ කිරි ගොවීන්ට ලබාදීමටද අපේක්ෂා කරයි.

මෙහිදී ආයෝජන මණ්ඩලය හරහා ආයෝජකයින්ට සහන සහ දිරිගැන්වීම් සිදු කෙරෙන අතර මේ යටතේ සිසිල් දේශගුණික ප්‍රදේශවලින් ගොවිපොළ පවත්වාගෙන යාමට අවශ්‍ය ඉඩම් වැවිලි සමාගම් විසින් ලබාදීමට එකඟතාවය පළකර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසා තිබේ.

වියළි දේශගුණික ප්‍රදේශවලින් සත්ව ආහාර සඳහා අවශ්‍ය කෙරෙන බඩඉරිගු සහ තෘණ වර්ග වගාකිරීම සඳහා රජයේ සහ මහවැලි අධිකාරිය සතු ඉඩම් ලබාදීමට ද නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here