එන්නත්කරණයෙන් කොවිඩ් පාලනය වන ආකාරය ගැන පැහැදිළි කිරීමක්

0
81

කොළඹ නගරයේ කොවිඩ් මර්දන මෙහෙයුම් සඳහා එක්ව සිටින සෞඛ්‍ය අංශ සහ අනෙකුත් සියලුම නිලධාරින් සඳහා ආරම්භ කළ එන්නත්කරණ වැඩසටහන ඊයේ (05) නිමාවට පත්වෙන විට 875 දෙනෙකු සඳහා එන්නත්කරණය සිදුකර තිබූ බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි. මීට දින 3කට පෙර එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබුණි. ඒ,  “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ්” කොවිඩ් මර්දන එන්නතයි.

එහිදී, “එන්නත්කරණයෙන් පසු එම සියලුම නිලධාරීන් තුළින් දැකගත හැකිවුයේ ඉතාම මද වශයෙන් ඇති වු උණ, කෑම අරුචිය, ඇඟපත වේදනාව, හංදිපත් වේදනාව සහ සිහින් හිසරදයක්. දරුණූ සංකූලතා කිසිවක් වාර්තා වුණේ නෑ,” යනුවෙන් වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසීය. ඒ හේතුවෙන් මෙම එන්නත ලබාගැනීමට කිසිදු බියක් ඇති කරගතයුතු නොවන බව අද (06) මාධ්‍යට අදහස් දක්වමින් වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැහැදිලි කළේය.

කෙසේ වෙතත් අවුරුදු 18ට අඩු පිරිසට සහ ගැබිනි මව්වරුන්ට මෙම එන්නත ලබා නොදෙන බවද වෛද්‍යවරයා පවසයි. එමෙන්ම, නිධන්ගත රෝග තිබෙන ඕනෑම කෙනෙකුට වුවද මෙම එන්නත ලබා ගැනීමට කිසිදු බියක් ඇති කරගත යුතු නොවන බවත් අධිරුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග වැනි ඕනෑම රෝගයකින් පෙළෙන කෙනෙකු මෙම එන්නත ලබාගැනීමට බිය නොවිය යුතු බවත් වෛද්‍ය රුවන් විජයමුණි මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් යම් කෙනෙක් අධික ලෙස ආසාත්මිකතා ඇතිවන පුද්ගලයෙකු නම් එවැනි අයෙක් එන්නත්කරණයට පෙර එම ස්ථානයේ සිටින වෛද්‍යවරයාට ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය බවද වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැහැදිලි කළේය. මේ අතර කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් වාර්තාවන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව සැලකියයුතු ලෙස අඩු වී ඇති බවද කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසීය.

පසුගිය දෙසැම්බර් මාසය හා සංසන්දනය කිරිමේදී ජනවාරි මාසයේදී ආසාදිතයින් වාර්තාවීම සියයට 49කින් පමණ අඩු වී ඇති බව ඔහු පෙන්වා දුනි. වෛරසය ව්‍යාප්තිය ආරම්භ වූ පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා කොළඹ නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 14,538 දෙනෙකු වාර්තා වී තිබේ. එන්නත්කරණයෙන් කොවිඩ් පාලනය වන ආකාරය පිළිබඳව ද එහිදී  පැහැදිළි කෙරුණි.

“අපි ඒ එන්නත ගත්තට පස්සේ කොවිඩ් වෛරසයට විරුද්ධව අපේ ශරීරය තුළ ප්‍රතිදේහ නිපදවෙනවා. එහිදී ආසාදිතයෙකු අපි ඉදිරියට පැමිණියත් ඔහුගෙන් අපිට වෛරසය ආසාදනය වෙනකොට අපේ ශරීරය තුළ එයට විරුද්ධව අවශ්‍යකරන ප්‍රතිදේහ නිපදවා ගැනීම ක්ෂණිකව කරගැනීමේ හැකියාව තියෙනවා. ප්‍රජාවේ වැඩි දෙනෙකුට එය ලබාදීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ තුළින් තමයි ප්‍රජාවේ ප්‍රතිශක්තිකරණ මට්ටම ඉහළ නංවාගන්න පුළුවන් වෙන්නේ. ඒ තුළින් පැතිරයෑම වළක්වා ගන්න පුළුවන්.” යැයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here