කොවිඩ් එන්නත විද ගැනීම අනිවාර්ය ද ?

0
146

කොවිඩ් එන්නත ලබාදීම බලෙන් නොකරණ බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි. එය ලබාගැනීම ස්වාධීන තීරණයක් බව වීරතුංග මහතා පැවසීය.

ඔහු පවසන්නේ එන්නත් ලබාගැනීම සඳහා ජනතාවට ආරාධනා කරන බවත් එම එන්නත් විදගන්නේ ද නැත්ද යන්න ස්වාධීන තීරණයක් බවය.

“එන්නත විදින අවස්ථාවේදී අපි ඊට අදාළ කැමැත්ත ලබාගැනීමට යම් අත්සනක් ලබාගන්නවා.”

වීරතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ එන්නත්කරණ වැඩසටහන සඳහා ජනතාව තෝරාගනු ලබන්නේ ජාතික මැතිවරණ කොමිසමේ නාම ලේඛනය යොදාගෙන බවය.

“එම ලේඛන වල නම් සඳහන් නොවන “Resident visa holders” ගැන මේ අවස්ථාවේ තීරණයක් අරන් නැහැ. නමුත් ඔවුන් පිළිබඳ ව තීරණය ඉක්මනට ගන්නවා.”

ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ඇස්ට්‍රා-සෙනෙකා “කොවිෂීල්ඩ්” එන්නත් මාත්‍රා 500,000ක් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

එම එන්නත් තොගය හෙට (28) මෙරටට ලැබීමට නියමිතය. 

එන්නත්කරණ වැඩසටහනේ ප්‍රමුඛත්වය රාජ්‍ය සේවයට අනුයුක්ත සෞඛ්‍ය සේවකයින්ටත් අනතුරුව කොවිඩ් මර්දන කටයුතු සඳහා දායකත්වය ලබාදෙන ආරක්ෂක හමුදා සහ පොලිස් නිලධාරීන්ටත් එන්නත් ලබාදීමට නියමිතය.

පළමු මාත්‍රාව ලබාදී සති 3කට පසු දෙවැනි මාත්‍රාව ලබාදීමට කටයුතු කෙරේ.     

අනෙක් අය සඳහා අවශ්‍ය එන්නත් ලබාගැනීම සඳහා ද මේ වනවිට කටයුතු කරමින් සිටින බව පැවසූ වීරතුංග මහතා, සියලුදෙනාට ම එන්නත් ලබාදෙනු ලබන්නේ නොමිලයේ බව ද කීය.

එහිදී ප්‍රමුඛත්වය ලැබෙන්නේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා ය.
   
මේ අතර කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල සඳහා සෞඛ්‍ය අංශ සූදානමින් පසුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (27) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ ලොව කාර්යක්ෂමව වඩා හොඳින් එන්නත්කරණය සිදුකළේ ඊශ්‍රායලය වන අතර මෙරට සෞඛ්‍ය අංශද ඊට වඩා හොඳ සූදානමකින් පසුවන බවය.
 
ඵලදායිතාව ඉහළම මෙන්ම  අතුරු අබාධ ජීවිත තර්ජන අතින් ඉතා අවම අවදානමක් තිබෙන ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරටට ගෙන්වීමට කටයුතු කිරීමද වැදගත් තීරණයක් බව ද අලුත්ගේ මහතා පැවසුවේය.

ඉදිරියේදී ජනතාවටද එය ලබාදීමට නියමිත හෙයින් එන්නත් ලබාගැනීම යනු සෞඛ්‍ය මාර්ගෝපදේශ වලින් බැහැරවීමට ලැබෙන “ලයිසන් එකක්” නොවන බව ජනතාව සිහිතබා ගත යුතු බව ඔහු කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here