කොවිඩ් පාලනයට රටේ ජනතාවගේ සහයෝගයත් අවශ්‍යයි -යුද හමුදාපති

0
142

ලෝකයේ බලගතු රටවල්වලට වඩා කොවිඩ් නයින්ටීන් වෛරස් ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හමුවේ දෛනිකව රෝගීන් 500 දෙනෙකු වාර්තා වුව ද ලෝකයේ අනෙක් රටවල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය පාලනය වී ඇති බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපති,

“මේ දවස්වල 500කට ආසන්න සංඛ්‍යාවක් දිනකට හමුවෙනවා. නමුත් ලෝක තත්ත්වයත් සමග ගත්තහම අපිට බය නැතුව කොවිඩ් අපි පාලනය කරගෙන ඉන්නවා කියන එක කියන්න ඕනේ. රටේ ජනතාවගේ සහයෝගය මේ සඳහා ඉතාමත් අවශ්‍යයි. අපේ ජනතාව බුද්ධිමත් ජනතාවක්. සෑම අවස්ථාවකම කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගත්තත් ඉතාමත් සුළු පිරිසක් මේ සඳහා කටයුතු කරන ආකාරයට අනුව සමහ අවස්ථාවලදී අපි දකිනවා වර්ධනය වීමක්, අඩුවීමක්. අපි ජීවත් විය යුත්තේ මේකත් එක්ක. ලෝක තත්ත්වයත් එක්ක බැලුවහම ලෝකයේ ප්‍රබල රටවල් මේ අවස්ථාවේ දී දණින් වැටිලා තියෙනවා. ඊයේ දිනයේ දී අමෙරිකාවේ මෙතෙක් දිනකට මියගිය වැඩිම පිරිස ඊයේ දිනයේ දී වාර්තා වුණා. එවන් අවදියක අපිට හැකි වුණා ශ්‍රී ලංකාව තුළ කොවිඩ් පාලනය කරගෙන අරන් යන්න. අපි ජනතාවගෙන් මේ සඳහා සහයෝගය බලාපොරොත්තු වෙනවා.“

මාතලේ දිස්ත්‍රික් විශ්‍රාමික යුද හමුදා හොකී සංගමය මගින් මාතලේ නගරයේ ඉදිකළ හොකී ස්මාරකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එම අදහස් පළ කළේය.

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද යුද හමුදාපතිවරයා මෙහිදී අදහස් පළ කළේය.

මෙරට රෝහල් පද්ධතිය තුළ කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට ඇති පහසුකම් අනුව විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීම යම්තාක් දුරට සීමා කිරීමට සිදුවු බව එහිදී යුද හමුදාපතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here