පිළිකාකාරක අඩංගු තවත් පොල් තෙල් තොගයක් ප්‍රතිඅපනයනයට සූදානම්

0
45

එදිරිසිංහ එඩිබල් ඔයිල් සමාගම ආනයනය කළ “ඇෆ්ලටොක්සින්“ පිළිකාකාරකය අඩංගු බවට අනාවරණය වූ පිරිපහදු නොකළ පොල් තෙල් ප්‍රතිඅපනයනය සඳහා අද (30) කොළඹ වරාය වෙත රැගෙනවිත් තිබුණි.

ඒ අනුව, එම සමාගම ආනයනය කර තිබූ මෙට්‍රික් ටොන් 230ක සමස්ත පොල්තෙල් තොගය එළඹෙන මැයි 04 වනදා මැලේසියාවට ප්‍රතිඅපනය කිරීමට නියමිතය.

“ඇෆ්ලටොක්සින්“ නැමැති පිළිකාකාරකය ඉහළ ප්‍රතිශතයක් අඩංගු බවට අනාවරණය වූ පොල්තෙල් මෙට්‍රික් ටොන් 1,850ක් මෙරටට ආනයනය කර තිබුණේ අලි බ්‍රදර්ස්, එදිරිසිංහ එඩිබල් ඔයිල් සහ කටාන රිෆයිනරීස් යන සමාගම් 03ය.

එම තොග ප්‍රතිඅපනයනය සඳහා කඩිනම් පියවර ගන්නැයි එම සමාගම්වලට ශ්‍රී ලංකා රේගුව විසින් පසුගියදා දැනුම් දී තිබුණි.

එම දැනුම්දීමට අනුව කටාන රිෆයිනරීස් සමාගම ගෙන්වූ සම්පූර්ණ ප්‍රමාණය වූ මෙට්‍රික් ටොන් 105ක පොල් තෙල් තොගය මැලේසියාවට ප්‍රතිඅපනයනය කිරීමට පසුගියදා පියවර ගත්තේය.

අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම බහාලුම් 04ක් ගෙන්වා තිබූ පොල්තෙල් මෙට්‍රික් ටොන් 1513.7ක ප්‍රමාණය ප්‍රතිඅපනයනය කිරීමට මෙතෙක් පියවර ගෙන නොමැති අතර ඒ  සම්බන්ධයෙන් රේගුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ අතර එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය පිළිකාකාරක අඩංගු පොල්තෙල් සම්බන්ධයෙන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාරදුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here