වීෂබීජ මරන්න ආ ‘ඕල් ඉන් වන්’

0
24

විෂබීජහරණය, මේ වන විට අප අතර නිතරම භාවිත වචනයක්ව වී ඇත්තේ අපව තවමත් අත් නොහැර ගොස් සිටින කොවිඩ් වසංගතය හේතුවෙනි. කොවිඩ් වසංගතය අපෙන් තුරන් වන දවසක් ගැන අනාවැකි කිව හැකි කිසිවෙක් නොවෙති. එම නිසා පරිස්සම් වීම තවමත් ඉතා වැදගත් බව වෛද්‍ය විශේෂඥයෝ අවධාරණය කරමින් සිටිති.

විෂබීජහරණය නැති නම් විෂබීජ ඉවත් කිරීමෙන් කොරෝනා වයිරසය මඟහැර ගත හැකි බවට සනාථ වීමත් සමඟ විෂබීජහරණය සදහා ලොව පුරා මෙන්ම ලංකාවේ ද නව නිර්මාණ රැසක් බිහි වන්නට විය. ඒ හරහා මෙරට නව නිර්මාණ ක්ෂේත්‍රයේ පෙර නොවූ විරූ නව පිම්මක් ඉදිරියට තැබූ බව ද පිළිගත යුතුය.

එදිනෙදා භාවිත කරන බොහෝ භාණ්ඩ සහ උපකරණ විෂබීජහරණය කිරීම සඳහා විෂබීජහරණ උපකරණ බිහි වුවත් විෂබීජ, වයිරස් ආදි රෝග රැසක් ගෙන ආ හැකි ජංගම දුරකතන විෂබීජහරණය කිරීමක් ගැන ඔබ කිසිදා අසා නොතිබෙන්නට ඇත. හානිදායක නොවන සුමට රසායනිකයකින් එය පිරිසුදු කර ගැනීමක් හැරෙන්නට ජංගම දුරකතනය මුළුමනින්ම විෂබීජහරණය කරගැනීමට හැකි උපකරණයක් ලොව තුළ නොවීය.

විෂබීජහරණය

එම අභියෝගය ජය ගැනීමට මෙරට නව නිපැයුම්කරුවකු වන ආසිරි සිල්වා සමත්ව සිටියි. ඔහු එම අභියෝගය පමණක් නොව කොරෝනා වසංගතය අප වෙත පැමිණෙතැයි විශ්වාස කළ හැකි විෂබීජහරණය කිරීමට ක්‍රමවේදයක් නොමැති වූ එදිනෙදා භාවිත වන භාණ්ඩ රැසක්ම විෂබීජහරණය කිරීමේ උපකරණයක් නිර්මාණය කර තිබේ.

“වර්තමානයේ බිහි වී ඇති විෂබීජහරණ ක්‍රියාදාමය සදහා තෙතමනය හෝ අධික උෂ්ණත්වය භාවිත කිරීමෙන් තමයි විෂබීජහරණය සිදු කරනු ලබන්නේ. එම ක්‍රියාදාමය ලිපි ලේඛන, රූපලාවණ‍ය උපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ නැතිනම් ජංගම දුරකතන, ටැබ් යන්ත්‍ර සහ මුදල් නෝට්ටු උපකරණය හෝ ද්‍රව්‍යවලට හානි සිදු වනවා. අනෙක තමයි විෂබීජහරණය සදහා තරමක දිගු කාලයක් ගත වීම යන කාරණා මම මේ වන විට අප භාවිත කරමින් සිටින විෂබීජහරණ උපකරණවල අවාසි සහගත තත්ත්ව මම නිරීක්ෂණය කළා. එයට විසඳුමක් සොයා යෑමට විවිධාකාර පරීක්ෂණවල නියැළුණා.

එහි අවසන් ප්‍රතිඵලය ලෙස තමයි ‘ඕල් ඉන් වන’ විෂබීජහරණ උපකරණය නිර්මාණය කිරීමට හැකි වුණේ.”

99.9% ක ඵලදායිතාවක් සහිත මෙම උපකරණය අතේ ගෙන යා හැකි ලෙස නිර්මාණය කිරීමට ආසිරි සමත්ව සිටියි. තත්පර 90ක් වැනි කෙටි කාලයකින් විෂබීජහරණය සිදු වන අතර තෙතමනය හෝ අධික උෂ්ණත්වය විෂබීජහරණය සඳහා භාවිත නොකෙරේ. ඒ නිසා කිසිදු උපකරණයකට, ද්‍රව්‍යයකට කිසිදු හානියක් සිදු නොවේ.

අන්තර්ජාතික සම්මාන

”ඉලෙක්ට්‍රොනික උපකරණ, වෛද්‍ය හා රූපලාවණ්‍ය උපකරණ, ළඳරු ඇඳුම් පැලැඳුම්, සෙල්ලම් බඩු, ආභරණ, මුඛ ආවරණ, මුදල් නෝට්ටු, මුදල් පසුම්බි, ලිපි ලේඛන ආදි සියලු දේ මේ හරහා විෂබීජහරණය කළ හැකිය.

තත්පර 90ක කාලයක් තුළදී 99.9% ක ඵලදායිතාවක් සහිතව විෂබීජහරණය වන බව තත්ත්ව පරීක්ෂණ වාර්තාවලින් තහවුරු කර ගෙන තිබෙනවා. අදාළ ආයතනවලින් තත්ත්ව සහතික වාර්තා ලබා ගැනීම සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දුන්නේ ශ්‍රී ලංකා නව නිර්මාණ කොමිසමයි.”

කුඩා මයික්‍රොවේව් උදුනකට සමාන ආකාරයෙන් ආසිරි නිර්මාණය කර ඇති මෙම විෂබීජහරණ උපකරණය මේ වන විට අන්තර්ජාතික සම්මාන රැසක්ම ශ්‍රී ලංකාව වෙත දිනා දීමට සමත්ව සිටියි.

අන්තර්ජාතික නව නිර්මාණ ආයතනය (IEIA-International Federation of Inventors’ Association)සහ ලෝක නව නිර්මාණ හා නවෝත්පාදන පදනම (World Invention and Innovation Foundation) විසින් පවත්වනු ලැබූ කොරෝනා වයිරසයට එරෙහිව නිර්මාණය වුණු නව නිර්මාණ තරගාවලියේ (Inventions Vs Corona–Invention Contest for the Benefit of Humanity Against COVID-19) දී සහ කැනඩා නව නිර්මාණ ආයතනය (Canada Inventions Association) විසින් පවත්වනු ලැබූ අයි කැන් 2020 (iCan 2020) නව නිර්මාණ තරගාවලියේ දී රන් පදක්කම් දෙකක් දිනා ගැනිීමට ආසිරිගේ මෙම නව නිර්මාණය සමත් විය.

එදිනෙදා ජීවිතය පහසු කරවන නව නිර්මාණ රැසක් ආසිරිගේ නව නිර්මාණ ගොන්නේ දක්නට ඇත. ඒ අතරින් අප බොහෝ දෙනා නිවසේ දී මුහුණ දෙන තේ කෝප්ප හෝ රස කැවිලි දැමූ පිඟන්වලට කූඹි සහ කැරපොත්තන් ඇදී එමට ද ආසිරි පිළියමක් සොයාගෙන ඇත්තේ පරිසර හානියක් ද වළක්වා ගැනීමට හැකි වන අයුරිනුයි. ආසිරි කුහුඹුවන් ඒම වළක්වාලන ටේබල් මැට් තනා ඇත්තේ ඉවත ලන සීඩී තැටි උපයෝගී කරගෙනය. කූඹින් කැරපොත්තන් පමණක් නොව මීයන්, ගොළුබෙල්ලන් පවා ඇදී ඒම මෙම නව නිර්මාණය විසින් වළක්වාලයි. කිසිදු ආකාරයක විසක් මෙම සී.ඩී. තැටි හරහා නිකුත් නොවන අතර ඕනෑම වාර ගණනක් පිරිසුදු කර භාවිත කිරීමේ හැකියාව පවතියි.

නව නිර්මාණ කොමිසම විසින් පවත්වනු ලබන ‘සහසක් නිමැවුම්’ තරගාවලියේ දී රන්පදක්කමක් හිමි කර ගැනීමට සමත්ව විදුලි අනතුරු වළකාලන විදුලි පේනුවද ආසිරිගේ තවත් සුවිශේෂී නිර්මාණයකි. එමඟින් නි‍ෙවසේ සිදුවන විදුලි අනතුරු වළක්වාලයි. විශේෂයෙන්ම කුඩා දරුවන් සිටින නිවසකට මෙම නව නිර්මාණය ඉතාම ගැළපෙයි. කුඩා දරුවන් විදුලි රැහැන් හැපීම, විදුලි පේනු වෙත ඇඟිලි ගැසීම් ආදියෙන් සිදු වන අනතුරු මෙම උපකරණය සවි කිරීමෙන් වළකාගත හැකිය.

පී.කේ. බණ්ඩාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here