APEX හි SimpliFlying සෞඛ්‍ය සුරක්ෂිතතාවයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට “Diamond” හිමිවෙයි

0
25

ශ්‍රීලංකන් ගුවන් සේවය එහි මෙහෙයුම් වලදී පිරිසිදුකම හා සනීපාරක්ෂාව පිළිබඳ ඉහළම ප්‍රමිතීන්  සහතික කිරිම සඳහා දරන උත්සාහයන් වෙනුවෙන් ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX-Airline Passengers Experience Association) විසින් සෞඛ්‍ය සුරක්ෂිතතා “Diamond” ප්‍රමිතිය පිරිනමා තිබේ. මීට පෙර ද 2021 ජනවාරියේ මාසයේ දී පශ්චාත් කොවිඩ් සමය තුල සිදුකළ ගුවන් ගමන් වලදී මගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම සඳහා ඉහළම ප්‍රමිතීන් සහතික කිරිම වස් ගුවන් සේවය දරන උත්සාහය පිළිබඳව සිදුකළ පූර්ණ ස්වාධීන පරික්ෂාවකින් පසුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට APEX හි SimpliFlying සෞඛ්‍ය සුරක්ෂිතතා “Platinum” ප්‍රමිතියද හිමිවිය.

ලකුණු 58 පිරික්සුම් ලැයිස්තුවක් මත පදනම්ව ලබාගත හැකි ඉහළම ශ්‍රේණිගත කිරිම වන “Diamond” ප්‍රමිතිය ලබාගත් දකුණු ආසියාවේ ප්‍රථම ගුවන් සේවය ශ්‍රී ලංකන් ගුවන් සේවයයි. ගුවන් සේවයට මෙම ප්‍රමිතිය සාක්ෂාත් කරගැනීමට හැකිවුයේ ස්පර්ශ රහිත පිරික්සුම් ක්‍රියාවලියක් සහ සමාජීය දුරස්ථභාවය ක්‍රියාත්මක කිරිම ඇතුළුව මගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධව නිර්ණායක ගණනාවක් සමාලෝචනය කිරිමෙන් අනතුරුවය.

සෑම ගුවන් ගමනකටම පෙර සියළුම  ශ්‍රීලංකන් ගුවන් යානා විෂබීජහරණය කරන අතර, නවීනතම හා ඉහළම කාර්යක්ෂමතාවයෙන් යුත් විශේෂිත වාතය (HEPA) පිරිසිදු කිරිමේ පද්ධති වලින් ගුවන් යානා සමන්විත වේ. ගුවන් යානය පුරා සෑම මිනිත්තු දෙක තුනකට වරක් වාතය ප්‍රබෝධමත් වන අතර, මේ සඳහා APU (Auxiliary power unit) සක්‍රීයව තබාගැනීමට අවශ්‍ය වන HEPA Filter ඉහළ මට්ටමක පැවතීමත්, ඒවායේ උපරිම ධාරිතාවය දක්වා ක්‍රියාත්මක වීමත් APEX SimpliFlying විගණන කමිටුවේ විශේෂ ඇගයීමට ලක්විය.

එමෙන්ම මගීන්ගේ ආරක්ෂාව වැඩිදියුණු කිරිම සඳහා අප විසින් නිර්දේශ කර තිබු නව සෞඛ්‍ය ආරක්ෂණ පියවරයන් සම්බන්ධයෙන්ද APEX හි ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය ජෝ ලීඩර් මහතාගේ පැසසුමට ලක්වු අතර, මෙම “Diamond”  ප්‍රමිති මට්ටමට ලඟාවීම තුළින් පෙන්නුම් කරනුයේ  කොවිඩ් – 19 වසංගතය තුලින් ඉදිරියට යාමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තුල තිබු කැපවීම බවද ඒ මහතා පෙන්වා දෙන ලදී.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා “මෙම වසංගතය තුල අපගේ මගීන්ට ආරක්ෂිතව හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක ගමන් කළ හැකි බව සහතික කිරිම සඳහා අප පුළුල් සනීපාරක්ෂක පියවරයන් රැසක් කඩිනමින් ක්‍රියාත්මක කළා. මෙම කාලයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ගනු ලැබු පූර්වාරක්ෂාව නිසා APEX සෞඛ්‍ය ආරක්ෂණ විගණනයේ ඉහළම තත්ත්වය ලැබීම ගැන අපි ආඩම්බරයට පත්වෙනවා.” යැයි සඳහන් කළේය.

මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා “වසංගතය ආරම්භයේ සිටම ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය සියළුම සේවකයින්ගේ සහ මගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම වෙනුවෙන් කැපවී සිටියා. සියළුම පාරිභෝගික ස්පර්ශක ස්ථාන වල උසස් ජෛව සුරක්ෂිතතා පියවරයන් අනුගමනය කරමින් සහ අප සමඟ ගමන් කිරිමේදී ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමුඛතාවයක් ලබාදෙන බව මගීන්ට සහතික කළ‍ නිසාම කලාපයේ ආරක්ෂිත ගුවන් සේවය වීමට අපගේ කණ්ඩායමට හැකිවුනා.”යැයි සඳහන් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය සේවය ලබාදීමේදී ජෛව සුරක්ෂිතතාවය තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් (WHO) ලබාදෙන ආරක්ෂිත මාර්ග උපදේශ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යංශය හා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සමඟ එක්ව කටයුතු කරමින් සිටී.

තවද, කොවිඩ් – 19 වසංගතයට අදාල අවශ්‍යතා සපුරාලීම සඳහා ගුවන් සේවයේ වෛද්‍ය මධ්‍යස්ථානය ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරින්ට පුමුඛත්වය ලබාදී කටයුතු කරන අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය ගුවන් ගමන් කාර්ය මණ්ඩලයේ 90% කට වැඩි ප්‍රමාණයක් එන්නත් කිරිම මගින් ගෝලීය සංචාරක කර්මාන්තයේ නව සන්ධිස්ථානයක් අත්කර ගත්තේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව යමින් සමාජීය දුරස්ථභාවය සඳහා ඵලදායී විසදුමක් ලෙස අසල්වැසියන් රහිත ආසන ලබාදී සිය පාරිභෝගිකයින්ට ගුවන් ගමනේදී විවේක ගැනීමට වැඩි ඉඩක් ලබාදෙන අතර, එය සංචාරකයින්ට විශාළ ලෙස ප්‍රයෝජනවත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here