කොට්ටම්බා වෙළෙඳාමෙන් දවසට 5000ක් හොයන විජේපාල

0
173

මේ දිනවල හැමදාමත් වගේ එදත් උදේ පාන්දර සිට කොළඹට වැසි ඇදහැළුණේය. එක්වරම ඇදහැලෙන වැසි විනාඩි කිහිපයකින් නතර විය. එහෙත් කොළඹ පුරා පැවතියේ තරමක් අඳුරකි. වැඩි විශ්වාසයක් නොතිබුණද අප ඔහු සොයා බොරැල්ල වැලිකඩ බන්ධනාගාරය අසලට පිවිසියේ සුපුරුදු තැන ඔහු හිඳීවියැයි බලාපොරොත්තුවෙනි.

වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට ඇති වෙස්ලි ක්‍රීඩාංගණයට යාබදව ඇති මාර්ගය දිගේ අපි පොද ගහන වැසි බිංදුත් සමඟ ඉදිරියට ඇවිද ගියෙමු. ඈත තියාදීම අපි ඔහු හඳුනාගනිමු.

විජේපාල කොට්ටම්බා ගොඩ මැදි කරගෙන තම සුපුරුදු රාජකාරියේ නිරත වී සිටියේය. කළු ගලක් උඩ තිබූ කොට්ටම්බා ගෙඩියකට ඔහු තවත් කළු ගලකින් තුන්හතර පාරක් හෙමිහිට තලමින් සිටියේය. කොට්ටම්බා ගෙඩි පැලී සුදු පැහැ මදය අතට ගත් ඔහු හිස ඔසවා අපි දෙස බැලීය.

“අපි දේශය පත්තරෙන්. අංකල් එක්ක කතා කරන්න ටිකක් පුළුවන්ද?” අපි ඇසුවෙමු.

“අනේ කතා කරමු. අහන්න ඕන දෙයක්”

විජේපාල අපූරු හිනාවකුත් සමඟ අපිත් සමඟ දොඩමළු වන්නට එකඟ විය.

ඕවීල් විජේපාලගේ උපන් ගම ඇල්පිටියේය. සහෝදර සහෝදරියන් කිහිපදෙනෙක්ගෙන් යුත් පවුලක උපන් විජේපාල පාසල් අධ්‍යාපනය ලැබුවේ පහ වසර පන්තියට පමණි. ආර්ථික අපහසුතා මෙන්ම පාසල් යාමට එතරම්ම කැමැත්තක් නොදක්වබු විජේපාලට ඕනෑවූයේ කෙසේ හෝ රැකියාවක නිරත වන්නටය. ඇල්පිටියේදී ඔහු රැකියා කිහිපයක්ම කළේය. කුලී වැඩ පවා කළේය. එහෙත් තරුණ විජේපාලට ඕන වූයේ කෙසේ හෝ කොළඹට පා තබන්නටය.

අවුරුදු දහඅටක් වුණ විජේපාල ඇල්පිටියෙන් කොළඹට එන්නේ තම සහෝදරයකු සමඟය. තම වැඩිමහල් සහෝදරයා වූ ඔහු කොළඹ නගරයේ බේකරියක අත්උදවුකරුවකු ලෙසින් විජේපාලට රැකියාවක් සොයා දුන්නේය. එතැන් සිට විජේපාල මහන්සි වී බේකරියේ රැකියාව කළේය.

ඒ දවස්වල කොළඹට පැමිණි විට කොළඹ මල්වත්ත පාරේ තිබූ විශාල කොට්ටම්බා ගස ඔහුගේ ඇස ගැටුණි. එයින් වැටෙන කොට්ටම්බාවලට විශාල ඉල්ලුමක් ඇති බවද ඔහු දැනගත්තේය. ඇතැමුන් ගස යට තැන තැන වැටී තියෙන කොට්ටම්බා තලා මදය රස කරමින් කන අපූරුව ඉඳහිට දකින විජේපාලට අපූරු අදහසක් පහළ විය. ඇල්පිටියේ ගස් යට වැළලෙන කොට්ටම්බාවල රස බලන්නට කෙනෙක් නැති බව ඔහුගේ මතකයට ආවේය. පාසල් යන කොල්ලෝ කෙල්ලෝ ඒවා තලා කෑවද කොළොම්පුරේ මෙන් ඒවාට ඉල්ලුමක් තිබුණේ නැත. සෙල්ලමට කොලුකමට කොට්ටම්බා තැලුවද ගස යට පීරා ගොස් හොයමින් කන්නට තරම් කොට්ටම්බා හිඟකමක් ඇල්පිටියේ තිබුණේ නැත. මේ නිසාම කොළොම්පුරේදී අපූරු රැකියාවක් කරන්නට විජේපාලට හිතට අදහස් පහළ විය.

පසුවදා උදෑසනින්ම විජේපාල බේකරියේ කාටත් පෙර අවදි වූවේය. හිස් වුණු පිටි ගෝනියක් අතට ගත් ඔහු උදේ රැයින්ම කොළඹ නගරයේ ඇති ‍ කොට්ටම්බා ගස් යට වැටී තිබූ කොට්ටම්බා එකතු කොට ගෝනිය පුරවා කර තබාගෙන මල්වත්ත පාර අසලට ආවේය. ඔහු බේකරියෙන්ම ගෙනා ගෝනියක් බිම එළා වාඩි වී කොට්ටම්බා තැලුවේය.

ටිකින් ටික කොළඹට හිරු පායා ආවේය. කොට්ටම්බා ගොටුවලට විශාල ඉල්ලුමක් ලැබුණි. වෙනදා කහට ගෑවෙමින් තලාගෙන කන කොට්ටම්බා වෙනුවට කොට්ටම්බා ගොට්ටක් මිලදීගෙන කන්නට මල්වත්ත පාරට ආ අයගෙන් ලොකු ඉල්ලුමක් ලැබුණි.

“බේකරියේ රස්සාව කරන ගමන් තමයි මම එහෙම කොට්ටම්බා බිස්නස් කළේ. හැබැයි දවසක් නිවාඩු ගත්තා කියලා මට බේකරියෙන් ආයේ රස්සාවට එන්න එපා කිව්වා. ඒ නිසා මොනවා කරන්නද මම මේ රස්සාවටම හුරු වුණා. ගමේ ඉද්දිත් රස්සාව කළා. මාස කිහිපයකට පස්සේ එතන බිස්නස් කරන්න එපා කිව්වා. ඊටපස්සේ මම තැන් කිහිපයකම මේ රස්සාව කළා. ඒ තැන්වලිනුත් මට යන්න කිව්වා. පස්සේ තමයි මම මේ බොරැල්ලට ආවේ. දැන් මම මෙතනට ඇවිත් අවුරුදු දහයක් විතර වෙනවා”
විජේපාල කියන්නේය. කතාව කියන අතරතුරේද ඔහු කොට්ටම්බා තලයි. දැන් එය ඔහුට හොඳට හුරුපුරුදුය. බිම වාඩි වී තලන අතරේ ඔහු අසලින්ම ඇණ තියා වාඩි වී කතාවට ඇහුන්කන් දෙන අප දෙස බලමින් ඔහු ඒ අපූරු කතාවට වචන අහුලන්නේය. හොඳින් පැසුණු කොට්ටම්බා මදයක් ගෙන ඔහු අපිට දිගු කළේය. වැස්සට තෙමුණු කොට්ටම්බා ගෙඩිවල තෙතමනයත්, කහට ගැන්වුණු ඇඟිලිත් අතර මැදිවුණු කොට්ටම්බා මදය මම අතට ගනිද්දී ඔහු අපූරැවට සිනහා වුණේය.
“රසයි නේද?” මා එය කද්දී ඔහු ඇසුවේ ඒ සුපුරුදු සිනහවෙන්මය.

කහට ගැන්වුණු ඇඟිලි මෙන්ම කහට ගැන්වුණු ඇඳුම්ද විජේපාලගේ රැකියාවේ ස්වභාවය පෙන්වයි.

අද විජේපාල කොට්ටම්බා වෙළෙන්දෙකි. සෑම උදෑසනකම විජේපාල හතරට අවදි වේ. එලෙස අවදි වන්නට විජේපාල එලාම් තියන්නේ නැත. බොරැල්ලේ වීදි කණුවලින් දැල්වෙන එළියෙන් අඳුර කපාගෙන හිරු නැගෙන්නට මත්තෙන් විශාල ගස්වල එල්ලී සිටින වවුලන් නගන ශබ්දය විජේපාලගේ එලාම් එකය. උදේ රැයින්ම අවදි වන විජේපාලට කහට උගුරක් සාදා දෙන්නට කෙනෙක් සිටියේ නැත. ඔහු තනිකඩයෙකි. ඔහුට ඉන්න තැනක් නැත. අදටත් ඔහු නිදාගන්නේ බොරැල්ලේ වසා දැමූ කඩපිළකය. ඇඳක් නැති, දොරක් නැති, සමහරවිට වහලයක් නැති පදික මාර්ගයේය. විජේපාල හිඟන්නකු යැයි ඔබ සිතනවා වන්නට ඇත. නමුත් ඔහු කිසිවකුගෙන් පිළිසරණ පතා තම දෑත් යදින්නේ නැත. ඔහු මහන්සි වී කොට්ටම්බා විකුණන නිවෙසක් නැති, වහලක් නැති වෙළෙන්දෙකි.

සෑම දිනකම උදේ පාන්දර ඔහු කොට්ටම්බා සොයා කොළඹ පුරා ඇවිදින්නේය. ඔහුට හුරු කොට්ටම්බා ගස් අද කොළඹ ඕනෑතරම්ය. ගෝනි දෙකක් පුරෝගෙන ඔහු බොරැල්ලේ තම සුපුරුදු තැනට පැමිණ තම රාජකාරිය අරඹයි. කොට්ටම්බා මද ඔතන්නේ කොට්ටම්බා කොළයකය. එක ගොට්ටක මිල රුපියල් පනහකි.

“විජේපාල අන්කල් මේකෙන් වාසිද?”

මම ඇසූ ප්‍රශ්නයට විජේපාල පිළිතුරු ලබාදුන්නේ අපූරු හිනාවකින්මය.

“ඔව් වාසියි. දැන් තව ටිකකින් මේ ගොටු ඔක්කොම ඉවරවෙනවා. සමහර දවස්වලට මම රුපියල් පන්දාහක් මේ රස්සාවෙන් හොයනවා.”

කොට්ටම්බා ගෙඩියකට ගලෙන් තලනා ගමන් ඔහු පිළිතුරු දුන්නේය.

“දවසකට රුපියල් පන්දාහක් හොයන් විජේපාල අන්කල් ඇයි මෙහෙම පේමන්ට් එකේ නිදාගන්නේ? කාමරයක් හරි කුලියට අරගෙන ටිකක් නිදහසේ ජීවත් වෙන්න පුළුවන්නේ”

ඔහු ටිකක් නිහඬ වුණේය. ආයෙමත් මම ඇසූ එම පැනයට ඔහු උත්තර දුන්නේ තව ටික වෙලාවක් කල් ගෙනය. එතෙක් අපි ඔහු කොට්ටම්බා තලන තුරු බලා සිටියෙමු.

“මට ගමේ ගෙවල් තියෙනවා. මම ගමේ යනවා. එහෙ ඉන්නේ මගේ සහෝදරයෝ”

“ඒත්.. අංකල් වැඩි කාලයක් ඉන්නේ කොළඹනේ. හොඳ ආදායමක් තියෙන නිසා මෙහෙම පේමන්ට් එකේ දුක් විඳින්නේ ඇයි? බැංකු පොතක් තියෙනවද?”

“නෑ.. බැංකු පොතක් නෑ”

ඔහු දුන් පිළිතුරට අපි මුහුණට මුහුණ බලාගත්තෙමු.

ඔහු පැවසූ පරිදි ඔහු සතුව බැංකු පොතක් නැත. දවසේ ආදායම හොඳය. ඇතැම් දිනවල ඔහු දිනකට රුපියල් පන්දාහක් පමණ ආදායමක් ලබයි. ඒ මුදල් ඉතිරි නොවන්නේනම් සිදුවන්නේ කුමක්දැයි ඔබට සිතුණද ඔහුගේ පෙනුම එයට සාක්ෂි දැරීය.

“අංකල් බොනවා නේද?”

මා ඇසූ ප්‍රශ්නයට ඔහු ලැජ්ජාවෙන් සිනහා වූවේය.

“ඔව්.”

“දවසකට කීයක විතර බොනවද?”

“රුපියල් දෙදාහක විතර බොනවා. ඒක තමයි ඉතින් කරන්නේ. වෙන මොනවා කරන්නද?*”

විජේපාල හරිහම්බකරනා සියල්ලම මත්පැනට වියදම් කරන්නේය. ඉතුරුවක් නැත. ඔහු පවසන්නේ තම සහෝදර සහෝදරියන්ටත් ගමේ යනවිට උපකාර කරනා බවය. නමුත් එදිනෙදා ලැබෙන මුදල් ඔහු එදිනම වියදම් කරයි. විජේපාල කම්මැලියෙක් නොවේ. වැසි වසිද්දී රෙදි පොරෝගෙන කඩපිල්වල නිදාගන්නා ඇතැම් කැම්මැලියන් මෙන් නොව විජේපාල වැස්සේද කොට්ටම්බා එකතු කරන්නේය. අව්වේද කොට්ටම්බා එකතු කරන්නේය. සෑම දිනකම පාහේ විජේපාලගෙන් කොට්ටම්බා ගන්නා ගනුදෙනුකරුවෝ සිටිති. වාහනවල යද්දී කොට්ටම්බා මුලක් ගෙන රුපියල් පනහ වෙනුවට රුපියල් සීයක් දෙන අයද වෙති. කාටත් අත නොපා ජීවත් වෙන විජේපාල අහිංසකයෙකි. දිනක මහ රෑ කඩපිළක නිදා සිටි විජේපාලගේ කලිසම කපා පරිස්සමට එකතු කර තිබූ මුදල් සොරාගෙන තිබිණි. බැංකු ගිණුමක් නැති විජේපාල හරිහම්බ කරනා මුදල් මත්පැනට විතරක් නොව සොර සතුරන්ටද ගොදුරු වන්නේ එලෙසය.

“විජේපාල අංකල් හිතෙන්නේ නැද්ද ඔය හම්බකරන සල්ලිවලින් පොඩි කාමර කෑල්ලක් කුලියට අරගෙන ජීවත්වෙන්න?”

අහපු ප්‍රශ්නයට ඔහු පිළිතුරු දුන්නේ හිනාවක් පමණි.

දැන් ඔහුට වයස අවුරුදු පනස් තුනකි. කොට්ටම්බා තලමින් ජීවිතය ගෙවන ඔහුට අනාගත සිහිනයක්, බලාපොරොත්තුවක් නැත. කුසගින්නට, බත් කටක් කා ඉතිරි වන මුදලින් මත් වතුර බොන විජේපාල රාත්‍රී කාලයේදී කඩපිළක නිදාගනී. කාටත් අත නොපා ජීවත් වන විජේපාල අංකල්ගෙන් සමුගෙන එද්දී “ආ මේක ගන්න” යැයි කොට්ටම්බා කොළයකට දැමූ කොට්ටම්බා මද අහුරක් අපිට දුන්නේය. මුදල් දිගු කරන්න සැරසෙද්දී “සල්ලි එපා”යැයි ඔහු කීවේය. ඉන් මද දෙක තුනක් ගත් අපි “මේ ඇති අංකල්. අපි ගිහින් එන්නම්. පුළුවන්නම් ඔය බීම අඩු කරලා බැංකු පොතකට කීයක් හරි එකතු කරන්න” යැයි පැවසුවෙමු.

“පරිස්සමෙන් යන්න.. පාරවල් ලිස්සනවා.” යැයි කීවේ අපගේ කුඩයත් ඉහළා අපට දෙන ගමන්මය.

වැසි පොද එකින් එක වැටුණද ඒ පොදයට අපි කුඩය ඉසුලුවේ නැත්තේ වැස්සකටවත් කුඩයක් නැති ඒ දිරිමත් මිනිසා එක්ක කතා කරන්නට අපිටද කුඩයක් අවශ්‍ය නොවූ නිසාවෙනි. ජීවත් වන්නට කොට්ටම්බා තලන විජේපාලගේ ජීවිතයම මත් වතුරට දියවෙන හැටි අපරාදේ යැයි අපට සිතුණි.

 දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ – සුමුදු හේවාපතිරණ

www.deshaya.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here