X-Men යළි කරලියට? WandaVision වෘතාන්තය රසිකයින් ට කළ ඉඟිය!

0
21

පසුගිය ඉරිදා රාත්‍රියේ ඩිස්නි ප්ල්ස් (Disney+) හි ප්‍රදර්ශනය කිරීමට නියමිත WandaVision හි පළමු ට්‍රේලරය නිකුත් කරමින් සිය රසිකයන් පුදුමයට පත් කිරීමට මාර්වල් (Marvel) සමාගම සමත් විය.

මාර්වල් සිනමැටික් යුනිවර්ස් (Marvel Cinematic Universe – MCU) හි පැමිණි සුපුරුදු ස්කාර්ලට් විච් (Scarlet Witch) නොහොත් වන්ඩා මැක්සිමොෆ් (Wanda Maximoff) හා විෂන් (Vision) යන චරිත ද්විත්වය නව ස්වරූපයකින් මෙම කතාව තුළ ගෙතී ඇත. ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර් (Avengers: Infinity War) චිත්‍රපටයේදී තැනෝස් (Thanos) ගේ ප්‍රහාරයෙන් විෂන් විනාශයට පත් වූ අතර, ඔහුගේ පෙම්වතිය වූ වන්ඩා ගේ අභිප්‍රාය වනු ඇත්තේ සිය මායා බලය යොදාගනිමින් දිවි අහිමි වූ විෂන්ට යළි පණ පෙවීමයි.

කාලතරණය (Time Travel) කිරීම හෝ යතාර්ථය ප්‍රතිනිර්මාණය කිරීම (altering reality) පිළිබඳව ද මෙම වෘතාන්තයේ යම් හැඟවීමක් සිදුකොට තිබේ. මීට හේතුව වන්නේ බොහෝ අවස්ථාවන් වල වන්ඩා සහ විෂන් ජීවත් වන්නේ ඉතා පැරණි දශකයක (1950 – 60 වැනි) සමාජ වටපිටාවක වීමයි. මේ අනුව වන්ඩා සිය මායා බලය යොදා ගනිමින් විෂන් ට යළි පණ ලබා දීම සඳහා ඔහු ද රැගෙන අතීතකාලයකට තරණය කළේ ද, නැතහොත් ප්‍රතිනිර්මාණය කළ යතාර්ථයක් තුළ ජීවත් වීමට තැත්කරන්නේ ද යන්න රසිකයහු විග්‍රහ කරති.

නමුත් මෙම ට්‍රේලරයේ වඩාත්ම සිත් ඇදගන්නා සුළු දෙය නම් මාර්වල් විසින් අලුතින් අත්පත් කරගත් ෆොක්ස් (Fox) ආයතනය පිළිබදව දක්වන ඉඟියයි.

2017 වර්ෂයේ සිටම ඩිස්නි සමාගම උත්සහා කරමින් සිටියේ විනෝදාස්වාද ලෝකයේ ප්‍රමුඛයා වන ෆොක්ස් සමාගම අත්පත් කරගනීමටයි. ඉතා ඉහළ රසික ප්‍රතිචාර ඇති The Simpsons, James Cameron’s Avatar franchise, X-Men හා Fantastic Four වැනි කතා මාලා රැසකට උරුමකම් කියූ ෆොක්ස් සමාගම සිය ඩිස්නි ප්ල්ස් ප්‍රදර්ශකය වෙත එක් කරගැනීමට ඔවුන් උත්සාහ කරමින් සිටියහ.

මෙම ගනුදෙනුව අවසානයේ 2019 මාර්තු මාසයේදී අවසන් වූ අතර එතැන් පටන් රසිකයන් මහත් උනන්දුවෙන් බලා සිටියේ මෙම චරිත MCU සමඟ ඒකාබද්ධ වන්නේ කෙසේද යන්නයි. විශේෂයෙන් ම ෆොක්ස් සමාගමේ අවසානයත් සමඟ ප්‍රේක්ෂක ආදරය දිනා සිටි X-Men වෘතාන්තය The Dark Phoenix චිත්‍රපටයෙන් අවසන් වීම බොහෝ දුක්මුසු පුවතක් බවට පත් ව තිබිණි. 

එහෙත් WandaVision කතාමාලාව ඔස්සේ එයට පිළිතුරක් ලැබෙනු ඇති බවට හැඟේ. 

WandaVision කතාමාලාව ඔස්සේ යම් ඉඟියක් ප්‍රේක්ෂකයින් වෙත ලබා දීමට සමත් ව ඇති බවක් පෙනෙන්නට තිබේ. නව WandaVision ට්‍රේලරය දෙස සමීපව බැලීමෙන් ෆොක්ස් සමාගමේ මාර්වල් නාමාවලිය තුළ සඳහන් වන සැඟවුණු කරුණු කිහිපයක් අධ්‍යයනය කළ හැකිය. ඉන් එකක් නම් S.W.O.R.D. නැතහොත් Sentient World Observation and Response Department හදුන්වා දීමයි. මාර්වල් විශ්වයේ නික් ෆියුරි (Nick Fury) මූලිකත්වය ගෙන කටයුතු කළ S.H.I.E.L.D නම් රහසිගත සංවිධානයේ අභ්‍යවකාශ ශාඛාව S.W.O.R.D වේ. එය විශ්වයේ චක්‍රාවාට අතර සිදුවන තර්ජන වලට එරෙහි ව සටන් වදින සංවිධානයකි. මාර්වල් චිත්‍රකතා වලට අනුව S.W.O.R.D සංවිධානයේ අරමුණ පිටසක්වල බලපෑම් වලින් විශ්වය බේරා ගැනීමයි.

S.W.O.R.D සංවිධානය මුල්ම වරට මාර්වල් චිත්‍ර කතා වල පැමිණෙන්නේ 2004 වර්ෂයේ නිකුත් වූ, X-Men කොමික් කෘතියක යි. විප්ලවකාරී X-Men ප්‍රහාරක ගුවන් යානයේ නිර්මාතෘ මෙන්ම මුල් X-Men කණ්ඩායමේ සාමාජිකයකු වන ආචාර්ය හෑන්ක් මැක්වෝයි නැතහොත් බීස්ට් (Beast) S.W.O.R.D සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි!

මීට අමතරව, WandaVision ට්‍රේලරය කැන්ඩ්‍රින් හාන්ගේ චරිතය පිළිබඳ පළමු වරට ඉඟි කරයි. ඔහු WandaVision ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන විට “කරදරකාර අසල්වැසියෙකු” ලෙස විස්තර කර තිබේ. මාර්වල් රසිකයන් අනුමාන කරන්නේ හාන් සැබවින්ම අගතා හාර්ක්නස්ගේ (Agatha Harkness) ප්‍රතිනිර්මාණය කළ අනුවාදයක් බවයි. ඇයව හදුන්වා දෙනු ලබන්නේ Fantastic Four චිත්‍රපට ඔස්සේය. කොමික් කෘති වලට අනුව ඇයද Scarlet Witch මෙන්ම මායාකාරියක වන අතර ඇගේ උපදේශකයෙකු ලෙස ද ක්‍රියා කරයි. WandaVision ට්‍රේලරය මගින් හාන්ගේ චරිතය “ඇග්නස්” ලෙස නම් කර ඇති බව සනාථ කරන අතරම, මෙම න්‍යාය සත්‍යයක් දැයි බැලීමට අප විමසිල්ලෙන් සිටිය යුතුය.

මීට අමතරව තවත් සිත් ඇදගන්නා සුළු කරුණක් වන්නේ වන්ඩා ගේ මූලාරම්භය යි. MCU තුළ මෙම තොරතුර උදෘත කර නොපෙන්වූව ද, මාර්වල් චිත්‍ර කතා වලට අනුව වන්ඩා යනු මැග්නිටෝ (Magneto) (ප්‍රභල ජාන විකෘතිකයකු (mutant) මෙන්ම X-Men හි පරම සතුරා) ට අයත් බ්‍රදර්හුඩ් ඔෆ් මියුටන්ට්ස් (Brotherhood of Mutants) නම් ත්‍රස්ත කණ්ඩායමේ සාමාජිකාවකි. එමෙන්ම, වන්ඩා යනු බොහෝ අවස්ථාවන් හීදී X-Men මෙන්ම ජාන විකෘතිකයකු ලෙස ද මාර්වල් චිත්‍ර කතා වල විස්තර කෙරේ. ඇගේ මායාබලයන් වලට හේතුව ද එයයි. 

මෙම වසරේ අග භාගයේදී WandaVision ඩිස්නි ප්ලස් ඔස්සේ රසිකයන් වෙත එනු ඇත.

ඡවිනි අභයසිංහ | outboundtoday.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here